1/27/14

ඇඟ පෙන්වලා ඡන්දේ ගන්න බැරිද ?


ගයේෂා, ජින්ජර්, නදීෂා, මල්ෂා, රුවන්ති, හිරුණිකා...මේ  නම් කීපය ගැන තමයි  මේ දවස් වල වැඩි පුරම කථා කරන්නේ. මේ වෙනකොට ලංකාවේ තියෙන හොදම සමීක්ෂණ නියැදිය වන ෆේස් බුක් එක බැලුවහම මෙයාලා ඡන්දේ ඉල්ලන එක හොදයි කියලා එක post එකක් වත් නෑ. ඒ කියන්නේ රටේම තියෙන්නේ පට්ට විරෝධයක්. බිකිනි පිංතූර අඩ නිරුවත් පිංතූර එක්ක පක්ෂ පාට ලාංඡන දාලා විවිධ නිර්මාණ ශීලි දේවල් මේ දවස් වල අම්බානක Share වෙනවා.

 මේ ගැන ඇහුවම ගොඩාක් අය අහන්නේ “ මුං මොනාද Politics ගැන දන්නේ “කියලා.හරි ඒක එහෙමෙනම් අනිත් පැත්තට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි එතකොට දැන් පළාත් සභාවට ඉදිරිපත් කරල ඉන්න,කරන්න යන, (නිළියන් නොවන) අනික් මැති ඇමති පුතාලා, සහෝදරයෝ මුන් ඔක්කොම  Politics දන්නවද කියලා.එහෙම බැලුවම ඒ ප්‍රශ්නය තාර්කික නෑ.“ පළාත් සභාව කියන්නේ ඇමති පුතාලගේ මොන්ටිසෝරිය“ මෙහෙම කිව්වේ ටිල්වින් සිල්වා.ඒක ඇත්ත පහුගිය වයඹ මධ්‍යම ඇතුළු සමස්ත පළාත් සභා මැතිවරණ වලදී ඇමති පුත්තු, සහෝදරයෝ කොයි තරම් පළාත් සභාවට රිංගුවද තාත්තගේ, අයියගේ මල්ලිගේ බලේ පෙන්නලා .ඔවුන් එහෙම ප්‍රවේණිය හොයාගෙන යනව නම්  පළාත් සභාව කියන්නේ අම්මගේ අප්පාගේ බුදලයක් නෙවෙයි කියල පෙන්නන්න  නිළියෝ ටිකක් රිංගුවාම තියෙන වැරැද්ද මොකක්ද? 


ලිංගික ප්‍රශ්නයක්

ඇත්තටම අරං බැලුවම මෙතන තියෙන්නේ ලිංගික ප්‍රශ්නයක්.“පියාඹන මාළුවෝ “එකේ ලිංගික දර්ශනයක ඉන්න ගයේෂා නිලීයක් නොවී නිකම්ම නිකම් ගයේෂා වුණා නම් කිසි කෙනෙකුට පත්තු වෙන්නේ නෑ. ප්‍රසංග වේදිකාවේ ස්ටැග් ඩාන්ස් දාන ඇග කිලිපොලායන නැටුම් නටන ජින්ජර් නොවී ඇය සාමාන්‍ය කාන්තාවක් වුණා නම්  මේ ප්‍රශ්ණ නෑ.නදීෂා හේමමාලී ඉන්දියාවේ ගිහිං බිකිනිය ඇදලා  පිංතූර ගත්තෙ නැත්තං  මෙතන කිසි ප්‍රශ්නයක් නෑ . ඒකයි  මේක ලිංගික ප්‍රශ්නයක් වෙන්නේ. පළාත් සභාවට තරග කරන අනිත් කුඩු කාරයින්ගේ, ස්ත්‍රී දුෂකයින්ගේ, ජාවාරම් කරුවන්ගේ ,හොරුන්ගේ පැටිකිරිය හොයනවාද මෙහෙම?  නෑ.එහෙම හොයන්නේ නෑ වැඩිපුර දෙනවා කියන එකාට,  දුන්න එකාට, ටීවී එකේ වැඩියෙන්ම ඇඩ් දාන එකාට,  ඇග පුම්බපු එකාට,  ළමයි වඩාගන්න එකාට ඡන්දේ දාන්නේ.  එහෙනම් මෙතන තියෙන්නේ තනිකරම ලිංගික කුහක කමක් මිසක් වෙන මොකක් වත් නෙවෙයි.

ශ්‍රිලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ ඡන්ද බලය හිමි ඕනෑම කෙනෙකුට මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් ස්වාධීන කණ්ඩායමකින් හරි. මේ නිසා මේක මේ නීති විරෝධී වැඩක් නෙවෙයි.අනික මේ රටේ නීතියේ කොහෙවත් ලියවිලා නෑ ගණිකාවන්ට හෝ කුඩුකාරයින්ට,ජාවාරම් කාරයොන්ට ඡන්දේ ඉල්ලන්න බෑ කියලා. එහෙම වුනා නම් අද දේශපාලනේ ඉන්න 98% ක් ඔතන නෑ.එහෙනම් කොහොමද නදීෂයි ගයේෂයි ජින්ජරුයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ? අනික් අතට දේශපාලනයේ දැන් ඉන්න හැමෝම සත්පුරුෂයො නම් එක් පාරිශුද්ධ නොකිලිටි නිකම් පුජා භූමියක් වගේ තැනක් නම් මේ හෙළුවෙන් රගපාන, බිකිනි ඇදන් නටන ගෑණු එතන්ට යවන එක  අවුල් වෙන්න පුළුවන්.


 look එක

ලංකාවේ  සිද්ධ වෙච්ච තරුණ නැගිටීම්  තුනකදි උතුරේ සහ දකුණේ තරුණයෝ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මරා දැමෙනවා.  මේ විදිහට වැඩිපුරම මැරෙන්නේ රටේ දේශපාලනය ගැන සවිඥානකව හිටපු තරුණයා. ඒ කියන්නේ එතන දේශපාලනිකවම  විශාල gap එකක් එනවා. එතනින් පස්සේ ඉතුරුවෙන බහුතරයක් දේශපානලය ගැන  මෙලෝ රහක් තියෙන  උන් නෙවෙයි. උන් තමයි මේ දැන් තින්දු තිරණ ගන්න තැන් වලට පත් වෙලා තියෙන්නේ. අර අහිමිවුන බුද්ධිමතුන් ඉන්න ඕන තැන්වල ඉන්න බහුතරයකට දේශපාලනේ දැනෙන්නේ නෑ. කොටින්ම උන්ට උන්ව වත් දැනෙන්නේ නෑ . මේ නිසාම දේශපාලනය දැනීම සහ අවබෝධය ලංකාවේ දේශපාලනයෙන් අතුලගෑවිල ගිහින් ඉවරයි .සල්ලි තියෙන ඕනම එකෙකුට  තමන් කැමති ඕනෑම පක්ෂයකින්(ජේවීපිය හැර )ඡන්දේ ඉල්ලන්න පුළුවන්.ඉල්ලලා  දිනන්නත් පුළුවන්. වැඩිපුරම පෝස්ටර් වලට වියදම් කරන්න පුළුවන් නම් , ටීවී ඇඩ්ස් ටිකක් කරගන්න පුළුවන් නම්,  නළු ලුක් එකක් තියෙනවා නම්,ටිකක් ඇග පුම්බලා නම් වැඩේ ගොඩ දාගන්න එක අමාරු වැඩක් නොවෙයි.ඒක පහුගිය අවුරුදු කීපය තුළ වර්ධනය වුන තත්වයක්.ඒ කියන්නේ මේ වෙනකොට දේශපාලනයේ පුද්ගල වටිනාකම් අහෝසි වෙලා ගිහින්. මේක මාර ඛේදනීය තත්වයක්.  දැන් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන්  බහුතරයක් ඉන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වත් දන්නේ නැති.ඔහේ අණ පණත් වලට අත උස්සන, වාද විවාද නොකරන කීයෙන් කීයක් ඉන්නවාද?

එන් එම් ලගේ  , කොල්වින්ලගේ ,  ජේ ආර් ලගේ ජාතියේ දේශපාලඥයෝ  බිහිවෙනකල් අපිට තවත් දශක ගණනාවක් බලං ඉන්න වෙන තත්වයක් දැන් තියෙන්නේ.මේක සුද්ද කරන්න මේ නදීෂයි ගයේෂයි ජින්ජරුයි පබයි ගීතයි අයින් කළාට මදි. ඕකේ ඇතුලේ ඉන්න හොරු ඔක්කොම එළවන්න ඕනේ.එහෙම නැතුව මේක කරන්න අමාරුයි. 


ආතල් ගන්නවා

මේ නිළියන්ව දාන එක එක පැත්තකින්  දේශපාලනික ඇමක්.මොකද මේ නිලියන්ව දැම්මම රටේ කථාව ඕක ගැන විතරයි, පත්තර වෙබ් ටීවී පෙන්නන්නේ මෙයාලව විතරයි.කථාකරන්නේ මෙයාල ගැන විතරයි. ඒ කියන්නේ අනික් රටේ ප්‍රශ්ණ ඔක්කොම  වහන්න ගයේෂගේ රංගනයට, නදීෂගේ බිකිනියට සහ ජින්ජර් ගේ නැටුමට පුළුවන්.ඡන්ද දායකයිනුත් බහුතරයක් කරන්නේ බැන බැන ගිහිං අර කොටුව ඇතුළෙදි තමන්ගේ සිහින ආතල් එකක් වුන එයාලටම මනාපේ දීලා එනවා. ඒක තමයි බුද්ධිමතුන් වැඩිපුර ඉන්නව කියලා කියන ගම්පහ දිස්ත්‍රික්කයෙන් පහුගිය පාර්ලිමේන්තු ඡන්දෙදි පබා  වැඩිම මනාප ගන්නේ. මේක තමයි ඇත්ත තත්වය.මේකට මේ ඉදිරිපත් වෙන නිලියන්ට බැනලා වැඩක් නෑ.  ඉදිරිපත් කරන පක්ෂ නායකයින්ට  බැනලා වැඩක් නෑ. ඡන්දදායකයා ඡන්දයේ නියම වටිනාකම තේරුම් ගන්න කල් මේ ක්‍රමය වෙනස් කරන්න බෑ. ඒ වෙනකල් උන් ඔක්කොම ඡන්ද දායකයාගේ ඡන්දෙන් ආතල් ගන්නවා.


( lfn.lk වෙබ් අඩවිය සදහා ලියන ලද්දකි)


No comments:

Post a Comment