12/3/10

Wireless LOVE


 අපි දන්න ඉතිහාසය අරගෙන බැලුවම අපිට මුණගැහෙන මුල්ම පෙම් හසුන ලියන්නේ උත්තිය කුමාරයා කැළණිතිස්ස රජ තුමාගේ අග මෙහෙසියට.ඒ කියන්නේ විහාර මහ දේවියගේ අම්මට.ඒ ලියුම රජ බිසවට යවන්නේ සවාමීන් වහන්සේ නමක් අතේ.ඒ තල්පත අහුවුනාට පස්සේ කැළණි තිස්ස රජතුමා ඒ ස්වාමීන් වහන්සේ උණු තෙල් කටාරමක ගිල්වනවා.ඉතිහාසය කියන විදිහට ඊට පස්සේ මුහුද කම්පා වෙනවා .ඒ නිසා විරාමහා දේවිය මුහුදට බිලි වෙනවා.ඔහොම ඔහොම කථාව යනවා.ඊට පස්සේ දස්කොන් අධිකාරම ප්‍රමිලා බිසවට පෙම් හසුන් ලියන්න ඇති.තව පස්සේ කාලෙක ඇලපාත මුදලි ගජමන් නෝනට ලියන්න ඇති.තව කාලෙක දම්මි සුගත් පෙම් හසුන් හුවමාරු කරගන්නවා අපිටත් මතකයි.

මෙහෙම කාලෙන් කාලෙට ආපු පෙම් හසුන්වල තිබුනා වෙනම සාහිත්‍යයක්.ඔය කැසට් කෑලි ජනප්‍රිය වෙන්න කලින් පෙම් හසුන් වල ලිව්වේ කවි.ස්වයං නිර්මාණ.ප්‍රේමණිය සිතුවිලි හිතට එක්කොට පෙම්වතුන් ඒවා ගලපල ලස්සනට ලිව්වා.එක ග්‍රාමීය පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියගේ මුහුන රා මුට්ටියකටත්  සමාන කරපු අවස්ථා තිබුනා.ඒ අවංක හැගීම් තමන්ගේ පෙම්වතිය වෙනුවෙන්.ගොඩක් ඒවා වචන විතරක් වුනාට ඒවයේ තිබුන රසය ඒ කාලේ අය දන්නවා.

“මධු මල ලෙස මුදු මගේ පියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි“

මේ 70 දශකයේ පෙම් හසුන් වල වැඩිපුරම ලියවුන ගීය කිව්වොත් නිවැරදියි.මිල්ටන්ලා,ජෝතිපාල ලා හදවත් පසාරු කරගෙන ඇතුලට කිදා බහින්නේ මේ ප්‍රේමණිය අදහස් තාලෙට ගායනා කරල.මේ ගීත අතරින් ගොඩක් ඒවට  අද වගේ Visuals තිබ්බෙ නෑ(චිත්‍රපට ගිත වලට ඇරෙන්න). Visuals හදාගත්තේ ශ්‍රාවකයා.තමන්ට කැමති දර්ශන තලයක,තමා සහ තමන්ගේ පෙම්වතිය දාලා විෂුවල් එක හදාගත්තේ අපිමයි.මේ නිසා මේ සිංදු ජිවිත ඇතුලේ ඇත්තටම ජීවත් වුනා.

මේ පෙම් හසුන් සාහිත්‍යය 90 දශකයටත් එනවා.ඉස්කෝලේ යන කොල්ලෝ කෙල්ලෝ අතරේ සමහර ටිකක් අකුරු ලස්සන ලියන්න දන්න එකාට වැඩ වැඩියි.අනිත් උන්ට ලියුම් ලියලා දෙන්න තියෙනවා.(ඒ කාලේ මටත් තිබුනා ඔය කරදරේ)ගොඩක් එහෙම ලියවෙන එක්ම ලියුම නම විතරක් වෙනස් කරලා තව එකෙකුට දෙන වෙලාවල් පවා තිබුනා.මේකෙත් තිබුනා හරි අපූරු සාහිත්‍යයක්.

පස්සේ කාලෙක ජංගම දුරකථන තමයි මේ ප්‍රේම සාහිත්‍යයට තිත තියන්නේ.ජංගම දුරකථන අතිශය සාමාන්‍ය වුනාට පස්සේ මේ “ලව් ලෙටර්“ සංස්කෘතිය කෙළවර වෙනවා.

ඊට පස්සේ එන්නේ sms ප්‍රේම සංස්කෘතිය.මේක ඇතුලේ අර ප්‍රේම සාහිත්‍යය නෑ.singlish වලින් තමයි අදටත් ගොඩක් දෙනෙක් ආදර පණිවිඩ යවන්නේ ලංකාවේ.මේ නිසා ඉතා කෙටි වචන මාලාවක් තුල කියන්න ඕන දේ කියන්න වෙනවා.( English වලින් කියනවට වැඩිය   singlish කියන්න ගියාම අකුරු සහ වචන වැඩිපුර ලියන්න වෙනවා)මේ නිසා ඉතා සීමා සහිතව තමයි මේ sms ප්‍රේම සංස්කෘතියෙදි  ආදරය හුවමාරු වෙන්නේ.

gdk aadarei oyata.oya mage Gwithe” මෙහෙම කියනකොට ඒ ආදරය ඒ හැගීම ඒ විදිහටම දැනෙනවද කියන එක ගැටලුවක්.ඒ කොහොම වුනත් දැන් ගොඩක් දෙනෙක් මේ වැඩේට පුරුදු වෙලා.      lv u 2…….”  ”cn u cl me ma swthrt “ මේ විදිහට ඉංග්‍රිසියත් දැන් වෙනස් වෙලා  txt languageඑකක් විදිහට..

කාලෙන් කාලෙට ලෝකෙ වෙනස් වෙන කොට සංස්කෘතිය වෙනස් වෙන්න ඕන ඒක ඇත්ත.භාෂාව ඇදුම් පැලදුම් වගේම ඇතුලේ ඉන්න මිනිහත් වෙනස් වෙන්න ඕන.ආකල්පමය පැත්තෙන් ගල් යුගයටත් එහා ජිවත් වෙන ගමන්  එලියෙන් Wireless වෙලා වැඩක් නෑ. Brand එක පේන්න underwear එක අදින කාලේ ඩෙනිමට යටින් අමුඩ අදින්න එපා.ඒක භයානක වැඩක්.මේ මොඩලය ඇතුලේ රොමියෝ ජුලියට් ල නෑ.දම්මි සුගත් ලා නෑ. තියෙන්නේ බැදිම් නැති සංස්කෘතියක්.ඕන වෙලාවක අත්හැරලා යන්න පුළුවන් වෙන්න ඕන. සදාකාලික කිසිදු බැදීමක් නෑ.ඒ කියන්නේ ඇත්තටම අපි Wireless වෙලා.




11/12/10

බඩුකාරයින් කුලප්පු වෙයි


ජීවිත කාලෙම දිනපතා පත්තර අතින් අල්ලන්නේ නැති ගොඩක් අය පහුගිය දවස් වල උදේට උදේට පත්තර බලන්න පුදුම විදිහට උනන්දු වුනා.ඒ අර අසභ්‍ය යැයි කියන වෙබ් අඩවි වල පෙනී ඉන්න අයගේ පින්තූර බලන්න.ඒවා පහුගිය දවසක පත්තර වල දාල තිබුනේ අදුනගන්න.ඒත් ගොඩක් දෙනෙක් ඒකෙන් ආතල් එකක් ගත්තා.ඒ වීඩියෝ හොය හොය බලන්න ගත්තා.දැන් ඒ වීඩියෝ වලට තියෙන්නේ පුදුම ඉල්ලුමක්.ඒ කියන්නේ පොලීසිය මේ කරල තියෙන්නේ පොඩි Promotion වැඩක්.
ලක්ෂයකට වැඩිය ගණිකාවෝ ඉන්න රටක  මේ කරන්න හදන්නේ විහිලුවක්. මේ Private video කියල කියන්නේ කෙනෙක් තමන් වෙනුවෙන්  තමන්ගේ කැමැත්ත මත කරන දෙයක්.ඒක හරියට පෞද්ගලික ඡායාරූප ගන්නවා වගේ වැඩක්.කෙනෙක්ගේ private album එකකින් photo එකක් අරං පත්තරේ දාලා ඒ ඉන්න පුද්ගලයට නඩු දාන්න යනවා වගේ  දෙයක් තමයි මේ කරන්නේ. දැන් මේ වීඩියෝ වල ඉන්න අයට නඩු දැම්මම අත් අඩංගුවට ගත්තම සමාජය ඔය කියන යහ පැවැත්මට යොමුවෙයිද?එහෙම නම් දැන් ලංකාව් කුඩු තහනම් ගංජා තහනම් ඒත් මිනිස්සු නොබී ඉන්නවද?මේක මේ  රටේ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න දාන මුට්ටියක් මිසක් වෙන දෙයක් නෙවෙයි.

මේ මතවාද හදන  අධිපතිවාදී කුලකයක් වෙනමම ඉන්නවා.ඔවුන් පැය ගනන් සජීවි රූපවාහිනි වැඩසටහන් වල වාඩිවෙලා හම්බන්තොට වරාය ගැන කියනකොට මිනිස්සු පස්සේ දවසේ පාන්දරම අනිත් වැඩ සියල්ල අතෑරලා හම්බන්තොට දුවනවා.ඉහල කොත්මලේ ගැන කිව්වම බඩදරු අම්මලටත් දොළදුකක් එනවා උමග බලන්න යන්න.මේ ගෝත්‍රික අධිපතිවාදීන් ඉස්සර මිනිස්සු කොළඅතු අදින කාලේ හිටිය නම් රෙදි හදුන්වලා දෙනකොට බටහිර බලවේග කියලා Protest කරයි.එහෙම නම් අපි තාම අදින්නේ කොළ අතු.

 
විවෘත ආර්ථික ක්‍රමවේදය එන්න කලින් ලංකාවේ තිබුනේ පුරුෂ මූලික ලිංගික ගණුදෙනුවක්.ඉස්සර කාන්තාව පිරිමියාගේ ලිංගික වුවමනාවන් සපුරගන්න භාවිත කරපු tool එකක් වෙලා තිබුනේ.ඒකනේ පිරිමියා “බඩුකාරයා“ වෙලා කාන්තාව “බඩුව“ වෙන්නේ.මේක පිරිමියාගේ තෘප්තියෙන් විතරක් කෙළවර වෙන ඇද රෙද්ද යට කරපු සෙල්ලමක් විතරයි ඒ කාලේ.ඒත් පස්සෙ කාලෙක ආර්ථිකය විවෘත වෙනකොට  magazine,blue films වගේ දේවල් ලංකාවට එනවා.මේවා බලන 80 දශකයේ අය හොයාගන්නවා අර කලින් කරපු ක්‍රමවලට වැඩිය තෘප්තිමත් වෙන්න තව ක්‍රම දෙවියෝ මවල තියෙනවා කියලා. 

80 පරම්පරාවේ ඉදල තෘප්තියේ නව ක්‍රමවේද සමාජගත වෙනකොට අර “බඩුකාරයින්ට“ පොඩි ඉරිසියාවක් එනවා හිතට “යකෝ මේවා අපිට අහුවුනේ නෑනේ“ කියලා.ඒ එක්ක ඔවුන් කලබල වෙනවා ඇදේදි කාන්තාව බලවත් විම නිසා තමන්ගේ පුරුෂකේන්ද්‍රිය අධිපතිත්වයට කෙළවෙයි කියලා.

මේ නිසාම කකුල් පේන්න,පපුව පේන්න,ටිකක් හිරට කෙල්ලෙක් ඇන්දම අර “බඩුකාරයින්ට“ ඉවසන්න බෑ.මේ නොඉවසිල්ල නිසා තමන්ගේ කැත හිත අනිකට පෙනෙයි කියන බයට සදාචාරය කියන වචනේ මුලට දාගෙන මහා සම්මතයන් හදන්න දගලනවා.මේක නිසා තමයි අර වීඩියෝ වල ඉන්න අය හොයලා අත් අඩංගුවට ගන්න තැනට රට ගෙනියන්න මේ ග්‍රාමීය“බඩුකාරයෝ“ ටික දගලන්නේ.

10/29/10

Facebook විරෝධියා

ගිණි අව්වේ මහ වැස්සේ
මග තොට දී මම නුඹ සෙව්වෙමි
මුණ ගැහෙන පසුකරන දහස් දෙනා
අතර ඔය ඇස් දෙක සොය සොයා
වෙහෙසුනෙමි
ඉර හද තරු අතර, මහ සයුරේ රැළි අතර නොව
සැබෑ ලෝකයේ
දුලි අතරේ,නියොන් එළි මැද
නුඔ සෙවිමි
බැරිම තැන
දුකටම නිකමට මෙන්
මූනු පොතේ පිටු පෙරලීමි
යළි යළිත් පෙරලීමි
අහම්බයක අරුමය
මිතුරකුගේ මිතුරකුගේ මිතුරකුගේ මිතුරකුගේ
මිතුරියක දුටුවෙමි
හුරු පුරුදු මුහුණකි
ඒ ඔබය
Relationship :Married
Current city :NY , USA
මම Log out වුනෙමි
එදා සිට මම facebook විරෝධියෙකි.

facebookසමාජ අපචාර වලට මග පාදයි“





10/22/10

Sex සහ Magic


(මෙය මීට පෙර කොටස් දෙකකට පලවුන ලිපියකි බොහෝ දෙනාගේ කියවීමේ පහසුව වෙනුවෙන් එක ලිපියක් සේ නැවත පලකරමි)

පොඩිඑකෙක් තාත්තගෙන් අහනවා මෙහෙම.“තාත්තේ මල්ලි ආවෙ කොහොමද?“තාත්ත කියනවා“ ආ මල්ලි ගෙනත් දුන්නේ පුංචි සුරංගනාවියක්නේ “ කියලා.පුංචි එකා නවතින්නෙම නෑ“එතකොට නංගි?“ තවත් ගැටලුවක්“නංගි ගෙනාවේ දේවතාවක්නේ පුතා“තාත්තා කිව්වා.“එතකොට මම?“තාත්තාට බේරිල්ලක් නෑ.“ඔයා අපිට දුන්නේ දෙවි කෙනෙක්“පුංචි එකාගේ හිත රිද්දන්න බැරි නිසාම තාත්තා කිව්වා.එතකොට පුංචි එකා පුදුමයෙන් කියනවා“යකෝ එතකොට මේ ගෙදර එකෙක්වත් ස්වාභාවික විදියට ඉපදිලා නෑනේ“ කියලා.

මේක තමයි ඇත්ත තත්වේ.වැඩිහිටියෝ කො‍ළේ වහලා ගේම ගැහීම නිසා අදටත් ලංකාවේ බහුතරයකට Sex කියන්නේ Magic එකක්.ඉස්කෝලේ විද්‍යා පාඩමට පජනන පද්ධතිය උගන්වනකොට කොල්ලො ටික පංතියෙන් එළියට දානවා.පස්සේ කෙල්ලෝ ටික එළියට දාලා ගුරුවරයෙක් ඇවිත් කොල්ලන්ට ඒක උගන්වනවා.කෙල්ලෙක් වැඩිවියට පත්වුන ගමන්ම කෙල්ල කොටුකරනවා.කොටු කරලා කියල දෙන්නේ පිරිමි ලගට යන්නවත් එපා,දැං ඔයා ලොකු ළමයෙක් කියලා.එතකොට කෙල්ලට මේක Magic එකක් වෙනවා.එතන ඉදලා කෙල්ල හිතන්නේ ඒ Magic එක ගැන.ලං වෙන හැම පිරිමියෙක්ම අර වැඩේට එනවා කියලයි කෙල්ලට හිතෙන්නේ.කෙල්ලගේ කුතුහලය ටිකෙන් ටික ආශාව බවට පත්වුණාම අම්මා පනවපු නීති රීති ඉක්මවා කුතුහලය සහ ආශාව උඩට එනවා.ඒකයි අදටත් ලංකාවේ දුෂණයට සහ අතවරයට ලක්වෙන කාන්තාවන්ගෙන් බහුතරය අවුරුදු 15 -20 අතරේ අයවෙන්නේ.Blue Film එකක් බලන්න හැම කෙල්ලෙක්ම කැමතියි.හැබැයි ඒක එළිපිට පිළිගන්නේ නෑ.ඒ අර සමාජ අපවාදයට ඇති භය නිසා.

Sex කියන්නේ අතිශය සාමාන්‍ය සරල හැගීම් ගණුදෙනුවක් කියන ඇත්ත පිළිගන්න සමාජය කැමති නෑ.අතීතයේ ඉදලා ලංකාවේ අපි එකගෙයි කාපු අය.රජවරු අන්තහ්පුර තියාගෙන හිටියා.ගමේ ගම්මුලාදෑනියාට  අඩුම ගානේ පවුල් දෙකක් වත් හිටියා.(මේ ඔක්කොම පුරුෂමූලික අවශ්‍යතා මත පදනම් වුන ඒවා.ඒක වෙනම කතාවක්.)මම කියන්නේ ඒ කාලේ Sex කිව්වෙ මාර දෙයක් නෙවෙයි අදට සාපේක්ෂව.ඉස්සර ඉදලා අපිට තිබුනේ ශිෂ්ට සංස්කෘතියක් නෙවෙයි.තනිකරම  Sex පදනම් කරගත්ත එකක්.(අතීතය ගැන මට තියෙන්නේ වෙනම කියවීමක්.ඒගැන මේ ලිපියේ ඊලග කොටසට ලියන්න පුලුවන්)දැං විතරක් වික්ටෝරියානු සළුපිළි ඇදගෙන බොරු ශිෂ්ටත්වයක් පෙන්නන්න හදනවා.
දැන් කොළඹ ආසන්නයේ Rape cases අඩුයි. ඇයි ඒ?අර ශාරීරික අවශ්‍යතාව ඉෂ්ට කරගන්න තියෙන අවස්ථා ඕන තරම් තියෙනවා.හැබැයි කහටගස්දිගිලියට,මනම්පිටියට,වනාතවිල්ලුවට සහ හම්බෙගමුවට ඔය පහසුකම නෑ.එතකොට අර මුලින් කිව්ව ලිංගික කුතුහලය තියෙන කෙල්ලන්ට සිද්ධ වෙනවා කැමැත්තෙන් හා අකමැත්තෙන් Rapeවෙන්න.හොයල බලන්න ලංකාවේ ඈත පළත්වල තමයි Rape cases වැඩි.ඇයි ඒ කියල හිතල බලන්න ටිකක්.

සංසර්ගය කියන්නේ අද ලංකාවේ සාමාන්‍ය පිළිගැනීමට අනුව කථා නොකළ යුතු එහෙත් සියලු දෙනා රහසින් කරන කර්තව්‍යයක්.ජාතික ඇදුමේ සිට ඩෙනිම දක්වා  මහමග සැරිසරන නනාප්‍රකාර ඇදුම් ඇතුලේ ගමන් කරන්නේ නිරුවත් සිරුරු බව පිළිගන්න කවුරුත් සුදානම් නෑ.ඒ නිසා මීඩියා වල පෙනී ඉන්න පොරවල් යැයි කියාගන්න කීප දෙනා කියන විදිහට එක්කෝටි හැටපන්ලක්ෂයටම ජීවත් වෙන්න වෙලා තියෙනවා.මේකයි ඇත්ත.

 අද මහා ශිෂ්ට ජාතියක් විදිහට ලෝකෙන්ම උතුම් ජාතිය විදිහට සමහරු පෙන්නන්න හදනවා. ඒත් අපි පටන් ගන්නෙම අසම්මත ලිංගික කටයුත්තකින්.සුප්පා දේවිය සිංහයත් එක්ක සංසර්ගයේ යෙදෙනවා.එතනින් උපදින සිංහබාහු කුමාරයා රාජ්‍යත්වය හින්දා තාත්තා මරනවා.ඊට පස්සේ තමන්ගෙම නංගි එක්ක සහවාසය කරනවා.එතනින් උපදින කුමාරයා විජය.විජය ලංකාවට එවන්නේ ආදරේට නෙවෙයි,ඉන්දියාවේ තියාගන්න බැරි නිසා මැර ක්‍රියා කරන නිසා.එහෙම ආපු විජය දැක්ක කුවේණිට ඉවසන්න බැරි වුනා.ඒ වෙනකොට ලංකාවේ හිටපු කළු කැත යක්කුන්ට වැඩිය විජය ලස්සනයි.ඒකයි අවුරුදු දහසයක පෙනුමක් මවාගෙන විජය අල්ලගන්නේ.එතන ඇතිවුනේ ලිංගික ආශාවක් නෙවෙයි පරම පිවිතුරු ප්‍රේමයක් කියලා කාටවත් කියන්න බෑ.කුවේණි විජයට ලංකාව පාවල දෙන්නේ sex නිසා.මහාවංශය කියන විදිහට තමුන්ගේ යක්ෂගෝත්‍රිකයෝ මරා දාන ක්‍රමය පවා කුවේණි විජයට කියන්නේ යහනෙදි.

ඊට පස්සේ මොකද වෙන්නේ කුවේණියගේ දරු දෙන්නත් එකට ජීවත් වෙනවා.මේවා අද කියන හැටියට හොදද?තව ඊට පස්සේ උන්මාද චිත්‍රා එක්ටැම් ගෙයක දාලත් තියාගන්න බැරිවුනා.එතනින් ගියාම අනුලා දේවිය,ප්‍රමිලා බිසව,මේ සියලුම තැන්වල තියෙන්නේ sex.රජවරු අන්තප්පුර තියාගෙන හිටියා,ඉසුරුමුණි පෙම් යුවළ ඉන්නේ නන්දා මාලනී අර කියන රාගයෙන් තොර සද එළිය සේ පිවිතුරු ආදරෙන් ද?එතකොට සීගිරි ලලනාවෝ අද අග්‍රගන්‍ය කලා කෘතියක් කියලා කිව්වට ඒ කාලේ Blue films නොතිබුන නිසා කාශ්‍යප රජ්ජුරුවෝ තමන්ගේ ආතල් එකට අන්දවපු ඒවා කියල කාට හරි තර්ක කරන්න පුළුවන්.

එතකොට ඉස්සර අපේ ඉතිහාසය තුළ එකගෙයි කෑම වගේ සංකල්ප තිබුනා.සුද්දෝ ලංකාවට එනකොටත් පැලක් හදාගෙන එක්තැන් වුනා මිසක් නීතියෙන් කඩදාසි වල අත්සන් කරලා අයිති කරගන්න සිරිතක් තිබුනේ නෑ.සුද්දෝ ආවට පස්සේ අපි සුද්දන්ට වැඩිය සුද්දෝ වුනා.අමුඩ සරම් ගලවලා කලිසම ඇදගත්තා,ඒත් සුද්දගේ භාෂාව අල්ල ගත්තේ නෑ.බොරු වික්ටෝරියානු සදාචාරේ හොරකම් කරගත්තා,ඒත් ආකල්පමය විදිහට ශිෂ්ට මිනිස්සු වෙන්න අදටත් බැරිවෙලා තියෙනවා.නැත්තං අදටත් බස්එකක කෙල්ලෙකුට නිදහසේ යන්න පුළුවන්.ඉතින් මේකයි තත්වේ.අපි Trend එකට ශිෂ්ට වෙන්න හදන ජාතියක්.ඒ නිසා ලංකාව තුළ ජන සමාජයේ පැවැත්ම වන සංසර්ගිය ක්‍රියාව රහසින් සිදුකල යුතු ක්‍රියාවක් බවට පත්වෙලා තියෙනවා.මේක ඛේදවාචකයක් නෙවෙයි කියලා කාටද කියන්න පුළුවන්.