වතුර බටේ උඩට
කිලිනොච්චි ටවුම මැද
ඒ නයින් පාර ළඟ
හතරගාතේ නිදන
වතුර බටේ උඩට
අපිත් ගියා කිලිනොච්චි
පාස් කරන් මැදවච්චි
සාමෙට පින්බෝවෙච්චි
දැක්කෙ නෑ තංගච්චි
අමාරුවෙන් බඩගාලා
වතුර බටේ උඩට
ජාතික සමගිය වැඩෙන්න
ලිව්වා අපි අපේ
නම, ගම, වාසගම
ලොකුවට
සිංහලෙන්
වතුර බටේ ළඟ කඩල විකිණුවේ
සියදෝරිස්
කඩල කරත්තෙට දකුණෙන් පොඩි තේ කඩයක්
තේ කඩේ හිටියා මුදලාලිගෙ නම
අරුනෝලිස්
ගාල්ලේ මද්දුලා
හේවාහැට බණ්ඩලා
පිටකොටුවේ චොප්පෙලා
පුංචි පුංචි කඩ දාගෙන
තනිරැක්කා
වතුර බටේට
සීරුවෙන් හිටිය කාලේ මේ වතුර බටේ
උදේ හාවා වතුර බීපු
ඒ වතුරෙන් පොළොව තෙමපු
ඒ පොළොවේ ලේ වපුරපු
ශාන්තිනි උඹ කෝ....
ශාන්තිනි එන්න
වතුර බටේ උඩට
කිලිනොච්චි ටවුම මැද
ඒ නයින් පාර ළඟ
හතරගාතේ නිදන
වතුර බටේ උඩට
2010-04-07