6/25/14

“ අපි මොන වැරැද්දක් කළාට ද? “


 “ මොනා කරන්නද මාත්තයා ජීවිත කාලේ අම්බ කරපු ඔක්කොම ඉවරයි.කවුද ඉතුවේ මේම දෙයක් කරයි කියලා. අපි හරිම ෂාමාකාමී මිනිස්සු මාත්තයා.අපි මේ අලුත්ගම සිංහල මුස්ලිම් කට්ටි ඔක්කොම එකට හිටියේ, කාටත් වෙනසක් තිබ්බේ නෑ ඒ නිසා අපි හීනෙකින්වත් ඉතුවේ නෑ මේම දෙයක් වෙයි කියලා“
අළුත්ගම නගරය ආසන්නයේ වඩේ විකුණන කඩයක් අසල හිදගෙන සිටි වයස්ගත පුද්ගලයෙකු එලෙස පැවසුවේය. ඔහු නිනව්වක් නැතුව ඈත බලාගෙන තවත් කතා කරයි.

“ යුද්දේ ඉවර වුණාම අපි හරි ෂතුටින් හිටියේ මාත්තයා. බෝම්බ පුපුරන්නේ නැති  රටක නිදහසේ අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා. අපි ඉතුවේ බය ඉවරයි කියලා“

 මග දෙපස යුද හමුදා සෙබලුන් තුවක්කු රුවාගෙන බලා සිටියි.ඒ අසලින්  දුඹුරු පැහැ බෆල් රථයක් ගමන් ගත්තේය.

“බලන්න මාත්තයා මේක දැන් උතුර වගේ. ඔය තුවක්කු අපි පුරුදු නෑ . ළමයින්ට යන්න ඉස්කෝල හෙට අරිනවලු. ඒත් උන්ගේ පොත් පත් ඇදුම් ඔක්කොම පිච්චිලා ඉවරයි. අපි මොන වැරැද්දක් කළාටද මහත්තයා මේ ?“

අළුත්ගම නගරය පෙර පරිදි යැයි මාධ්‍යය වාර්තා කළ ද අළුත්ගම  නගරයේ වෙනදා දක්නට ලැබුණ ප්‍රබෝධය  දක්නට නැත. සෑම ඇසකම රැදී තිබුනේ සැකයේ සේයාවකි.
කොයි මොහොතේ කොතැනින් ප්‍රහාරයක් එල්ලවේ දෝ යි යන බිය ඒ ඇස් වල රැදී තිබුණි.



අළුත්ගම සහ බේරුවල ගැටුම් වලින් මරණ හතරක් සිදුවී හමාරය.නිවාස හා දේපළ රැසක් විනාශ වී හමාරය.මෙම ප්‍රහාර සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයෝ අත් අඩංගුවට ගැනීමට  පොලිසිය කටයුතු කරමින් සිටියි.

“ මිනිස්සු ඇරෙස්ට් කලාට මාත්තයා නැතිවුන මිනිස්සු ආයේ ගන්න බෑනේ.කොච්චර වන්දි දුන්නත් ආධාර කළත් නැතිවුන දේවල් ආයේ ගන්න පුළුවන්ද? “

ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන බොදු බල සේනා සංවිධානය කියන්නේ  එම ප්‍රහාර වලට තමන් සම්බන්ධ නැති බවයි. ඔවුන් පවසන ආකාරයට ගැටුම් ඇතිවීම වැලැක්වීමේ අරමුණින් අළුත්ගම රැළිය පවත්වා තිබේ.

“ගැහුවේ මෙහේ අය නෙවෙයි මාත්තයා,  මුස්ලිම් අය කුලියට අරං හිටපු සිංහල කඩ වලටත් ගිණි තිබ්බා, මුස්ලිම්  පේන්න හිටපු  ගෙවල්  වලට ගිණි තිබ්බා. කාගෙද කියලා බැලුවේ නෑ. දකින දකින දේවල් වලට ගිනි තිබ්බා. ඇමතිලට මන්ත්‍රිලටත් ගැහුවානේ , මෙහේ අයනම් ඔහොම කරන්නේ නෑ. ඒක ෂුවර් “

අළුත්ගම බේරුවල ප්‍රදේශවල  නොසන්සුන්කාරී තත්වය පහව ගියද සැකය තවමත්  ඉතිරිව පවතියි.

“ දැන් මෙහේ මුස්ලිම් මිනිස්සුන්ට අපිට මුණ දෙන්න බෑ ඒ තරම් ලැජ්ජයි . මේක වුනේ පුද්ගලයෝ දෙන්නෙක් අතර ගැටුමක් මුලින්. ඒකට හාමුදුරුවෝ සම්බන්ධ නෑ. හාමුදුරුවෝ ගිය වාහනේට කෙනෙක් හැප්පෙන්න ගියාම රියදුරා කුණුහරපෙන් බනිනවා.එතකොට ඒ පුද්ගලයාත් ප්‍රතිචාර දක්වනවා එහෙම ම. ඊට පස්සේ මේ දෙන්නා බහින් බස් වෙනවා.පස්සේ ගැටුමකට ගියාම හාමුදුරුවෝ ඇවිත් තියෙන්නේ බේරන්න.ගැටුමෙප් පස්සේ  හාමුදුරුවෝ රෝහලට ගියේ නීතියෙන් පියවර ගන්න මිසක් ජාතිවාදේ අවුස්සන්න නෙවෙයි.ජාතිවාදීන් මේක අවස්ථාවක් කරගත්තා ඒකයි වුනේ“ අළුත්ගමදී හමුවු  පුද්ගලයෙකු අප සමග කීය.

“අපි අපේ ගෙවල් වල හංගගෙන මුස්ලිම් මිනිස්සු පරිස්සම් කළා.පල්ලියට කොටු වෙනකොට අපි කෑම උයාගෙන ගියා.මේක මේ අළුත්ගම සිංහල මුස්ලිම් මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. පිටින් ආපු අයට තිබුන ප්‍රශ්නයක්.

අළුත්ගම මුස්ලිම් පල්ලියේ ශ්‍රිලංකා යුධ හමුදාවේ බස් රථයක් ගාල් කර තිබිණි.පල්ලියේ තාප්පයේ කිහිප දෙනෙක්  අළුතින් තීන්ත ගානු දක්නට ලැබිණ.අදුරු දින දෙකක කළු මතකය සුදු තීන්තෙන් සදාකාලිකව වසා දැමෙන්නේ නම්  කම් නැත.නමුත් එයින් මේ මිනිසුන් තුළ ඇති සැකය පහව නොයනු ඇත. අළුත්ගම නගරය හරහා යන වෙනත් පළාත්වල සිංහල මිනිසුන් ද ඒ හරහා ගමන් ගන්නේ සැකයෙනි.සැකමුසු හදවත් දෙකක් අතර විෂබීජ ඇතිකිරීම ඉතා පහසුය.විෂබීජ වපුරා එම අස්වැන්නේ වාසි සහගත  ප්‍රතිලාභ ලබන්නේ වෙනත් පාර්ශවයකි ඔවුන්ගේ කිසිවෙකුත් මිය යන්නේ නැත.තුවාල වන්නේ ද නැත. ඔවුන් තවදුරටත් ඊනියා වීරයින් වී මන්ද බුද්ධික මිනිසුන් අතර වැජඹෙනු ඇත.


 
(Pix - Shehan gunasekara)

No comments:

Post a Comment