5/25/11

ෆැන්ටසියේ සියදිවි නසා ගැනීම


මේ දැන් ජිවත් වෙන්නේ අපි නෙවෙයි.වෙන කවුරුහරි.මේක මෙහෙම කිව්වට පැහැදිලි නෑ.දැන් වටපිට බලන්න Internet café කියල ගහල තියෙන ඒවා පොත් සාප්පු,ග්‍රොසරි බවට පත්වෙලා.නළුවො නිළියෝ නිවෙදකයෝ නිවේදිකාවෝ වෙලා.නිල්මිණි තෙන්නකෝන් ජිවිතේට උපදෙස් දෙනවා.මර්වින් මෙගා ස්ටාර් විනිශ්චය කරනවා.පාඨලි  සිල් ගන්නවා. යෝෂිත නාවික හමුදාවට බැදෙනවා.අනෝජා නිවන් යන්න පාර හොයනවා.සනත් පාර්ලිමේන්තු එනවා.සිරස පන්සල් හදනවා.මෙහෙම කියාගෙන යනකොට අපිට දනෙනවා අපි දැන් වැඩේ වරද්දගෙන ඉවරයි කියලා.

 ඇත්තටම දැන් ජිවත් වෙන්නේ අපිමද?කසාද බැන්දම එක්කෝ පිරිමියා තුල කාන්තාව දියවෙලා යනවා නැත්තම් කාන්තාව තුල පුරුෂයා දියවෙනවා මෙක හරි අවාසනාවන්ත තත්වයක්.කසාද බදින හැම නිළියකගෙන්ම පත්තරකාරයෝ අහන පොදු ප්‍රශ්නයක් තියෙනවා.ඒ තමයි “ඔයාගේ මහත්තයා රගපානවට කැමතිද?“ කියලා එවට ඒ නිළියො උත්තර දෙනවා“එයා අකමැති නෑ ඒත් අකමැතියි කිව්වොත් මම නවත්වනවා“ ඇයි මේ?මොන නිළියද පත්තරකාරයව ප්‍රශ්න කරන්නේ“එයාගේ කැමැත්ත අකමැත්ත මොකටද?මම කියන්නේ මට“ කියලා.ලංකාවේ කෙල්ලෙක් නම් ඔය කසාදය අවස්ථාවටත් එන්නේ පියවර ගානක් පහුකරලනේ.අම්මයි තාත්තයි කැමති කෙනාව තමයි බදින්න වෙන්නේ.වෙඩින් එක ගන්නෙත්,හනිමුන් යන්නෙත් ලොකු තැන්වලට අනිත් අය ගිය විදහට.ඊට පස්සේ මිනිහට ඕන විදිහට ජිවත් වෙන්න වෙනවා.මේකද ජිවිතේ?මම කියන කෙනා ඇයි ජිවත් කරවන්න උත්සහ ගන්නේ නැත්තේ.(මේක අර පුරුෂවාදි ගෝත්‍රිකයින්ට තරමක් කෙන්ති යන කථාවක් වෙනන් පුළුවන්)

 දැන් කසාද බැදල ගෙයක් හදන්නෙත් අපිට ඕන විදිහට නෙවෙයි.දැං යන විදිහට,දැං හදන විදිහට නැත්තං අල්ලපු ගෙදර විදිහට මේ ආදි වශයෙන් එතනදිත් අපිව හංගගෙන අනෙකා මුලික කර ගන්නවා.මෙහෙම අනෙකා මුලික කරගෙන අපි ජිවත්විම හරහා අපි ඇන්දිලා ඉන්නේ.මේ නිසා තමයි ලංකාවේ උගතුන් බහුලවම සිටින දිස්ත්‍රික්කය කියල කියන ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප අරං පබා පාර්ලිමේන්තු යන්නේ. අජන්ත මෙන්ඩිස් කියන නිසා කාගිල්ස් අයිස් ක්‍රීම් කන්න වෙනවා.අනර්කලී නියන නිසා වීට් ගාලා මයිල් ටික බාගන්න වෙනවා.භාතිය කියන නිසා කොකා කෝලා බොන්න වෙනවා ප්ලේන්ටිය පැත්තකට දාලා.

මේ අනෙකා තුල තමන් දියවී යාමේ අවස්ථා කිපයක් විතරයි.මේකට මීඩියා වලට බැනලා වැඩක් නෑ.මොකද මීඩියා කියන විදිහට මේ රටේ මිනිස්සු ජීවත් වෙනවා නම් උදේ හවස ප්‍රචාරය කරන බණ ටික අහන්න ඕනේ එහෙම නෑනේ.මේක මීඩියා ගේමක් නෙවෙයි.ඇතුල හිස් අපි උඩින් සළු පිළි ඇදගෙන ෆැන්ටසියේ ජීවත් වෙනවා.මීඩියා කරන්නේ ඒ ෆැන්ටසියට ඕන කරන Tools ටික දෙන එක විතරයි.මේ අනෙකා තුළ ජිවත් විමේ ෆැන්ටසියෙන් එළියට නොඑන තාක්කල් තමන්ව සොයාගැනිමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ.
 

5/13/11

බුද්ධ ජයන්තිය සහ t.c.b.s පරපුර



දවසක් සුරියප්පෙරුම මොකක්දෝ ටීවී චැනෙල් එකක කියනවා “ඉස්සර හායි බායි කියලා ටෙලිෆෝන් එක තියන්න පුරුදු වෙලා හිටපු අපි දැං බලන්ඩ අගේට බුදු සරණයි කියන්න පුරුදු වෙලා තියෙන හැටි.ඒකම ඇතිනේ අපේ ධාර්මික අධ්‍යාත්මික හැදියාව කොහොමද කියල මැනගන්ඩ“කියලා.
එහෙනම් ඔය හැම ලොරියෙම වගේ බුදු සරණයි කියල ගහල තියෙනවනේ.ඒත් ඒවගේ හරක් පටවනවනේ මරන්න.මේකේ සුරියප්පෙරුම ඇදලද නැත්තම් අපිට අන්දන්න හදනවද කියන එක ප්‍රශ්නයක්.ඒ කොහොම වුනත් දැන් බුදු සරණයි කියන එක Trend එකක් වෙලා.කෙල්ලෝ කොල්ලෝ අතරේ හුවමාරු වෙන txt massage වල අන්තිමට tcbs කියල type කරන්නේ නිසා.tcbs කියන්නේ වෙන මොකවත් නෙවෙයි “take care budu saranai“ කියන එක txt language එකෙන් කියන හැටි.

දැන් පන්සල් යන්නේ දැහැමි වෙන්නේ trend එකට.එහෙම කිව්වම මේ බුද්ධාලම්බන ප්‍රීතිය පිරි ඉතිරිල යන කාලේ ත්‍රස්තවාදි ප්‍රකාශයක් වගේ දැනෙන්න පුළුවන්. ඒත් ඒක කිව යුතුයි.දැහැමි වෙන එක හරියටම Market කලේ සෝම හාමුදුරුවෝ.උන්වහන්සේ අපේක්ෂා කරපු ප්‍රතිඵල ලැබුනේ මරණින් පස්සේ.උන් වහන්සේ ගේ අපවත් වීමත් එක්ක මහා බෞද්ධ බලවේගයක් ගොඩනැගෙනවා.මේ බලයේ දේශපාලනික වටිනාකමින් වැඩක් ගන්න හිතන කණ්ඩායම් “සෝම හාමුදුරුවෝ මැරුවා“ කියලා ආදාහනේටත් කලින් තමන්ගේ මතු ප්‍රයෝජන උදෙසා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවත් හදාගත්තා.තවත් බලය මදි කියල හිතුන නිසා ඕකට සිංහල මහ ජාතිවාදී paste එකත් දාගත්තා. දැන් සියල්ල හරි.ඔවුන්ගේ අරමුණු ඉටුකරගත්තා.සසර දුකක් කියලා සියල්ල අත්හැරලා මහණ දම් පුරන්න ගිය අපේ යතිවරුන්ටත් මන්ත්‍රී හිමි නමක් වෙලා පාර්ලිමේන්තු වඩින්න ලැබුනා.දැන් අර කිව්ව ධාර්මික රාජ්‍යය බිහි කරලද තියෙන්නේ?

පිරිත් නුල් බදින එකත් දැන් styleඑකක් ‍නේ.අතේ මැනික් කටුව ලග ඉදලා වැලමිට හරියට එනකල් නුල් බෝල පහක් හයක් අතේ බැදගන්නවා.එතකොට සියල්ල හරිද?මේ බොරු ධර්මිෂ්ට බවක් පෙන්නන්නේ ඇයි?මෙහෙම කියනකොට අර සුරියප්පෙරුම වගේ ප්‍රොමෝදයට පත්වෙලා ඉන්න පිරිස් වල ආතල් කැඩෙනවා තමයි.ඒත් මේ නොකියා බෑ.මොකද එයාල තමයි තමුන්ගේ පැවැත්මට මේ වගේ ව්‍යාජ තත්වයන්ට පාර කපන්නේ.
බුදු දහම කියන්නේ styleඑකක් හෝ  trendඑකක් නෙවෙයි.අතිශය මානුෂිය සංකල්පයක්.ලංකාවේ වෙන කිසිම දහමක් මෙහෙම විකිණිලා නෑ.ඒකයි තත්වය.හින්දු ආගමත් එක්ක තරුණයෝ බැදෙන්නේ අවංකවම.ඉස්ලාම් දහමත් එක්ක ඉන්නේ තරුණයෝ trend එකට නෙවෙයි.කතෝලික ක්‍රිස්තියානි  ආගම් වලත් තියේනනේ trend එකක් නෙවෙයි.

බුදු දහම trend එකක් බවට පත් කරල Marketකරන්න යන එකෙන් වෙන්නේ වටිනාකම නැති වෙන එක.ඒකයි ප්‍රශ්නේ.අද තරුණයෝ අල්ලගන්නේ බුදු දහමේ හරයට වඩා බාහිර දේවල්.පිරිත් නුල් ධර්ම චක්‍ර වගේ දේවල් විතරයි. මේ කියන්නේ ආගමික අන්තවාදී බින් ලාඩන් ලා බිහි කරන්න කියන එක නෙවෙයි. රූපලාවන්‍ය කටයුතු කරන පංච කාම සම්පත්තියේ ඇලී ගැලී ඉන්න ගමන් කණට ආතල් දෙන බණ දෙසල hit වෙන්න super star වෙන්න බලන ගනින්නාන්සෙලා නිසා බුදු දහමේ හරය කෙලෙසිලා තියෙන්නේ. 
කූඩු හැදුවට තොරණ ගැහුවට දන්සැල් දුන්නට ගොඩක් ඒවා පිටිපස්සේ තියෙන්නේ ආගමික බලාපොරොත්තු වලට වැඩිය ආතල් ගැනීමේ බලාපොරොත්තු.මේකයි ගැටලුව.උදේට බණ දහම දාන මීඩියා හවසට රෑට අධ්‍යාත්මික ජිවිතයට මොනවද දෙන්නේ.මේනිසා තමයි අද බුදු දහම විකුණන්න පහසුම දේ වෙලා තියෙන්නේ.මේ කියන්නේ ලංකාව බුදුන්ගේ දේශය කියලා හංවඩු ගහල අනිත් ආගම් ටික මකල දාන්න කියන එක නෙවෙයි.බුදු දහමට මුවා වෙලා කරන වංචාව තේරුම් ගත යුතුයි කියන එකයි.


4/9/11

“පොර“ ගේ “බඩු“ ගැහිල්ල



ඉදලා ඉදලා මටත් මාර මරාල කඩාගෙන වැටෙනවා.මට කිසිම දෙයක් හිතාගන්න දරාගන්න බැරුව යනවා.ඔළුව හැරුණු අතේ ගිහිං නැතිවෙන්න හිතෙනවා.මීඩියා වල පොරක් කියලා හිතාගෙන බුවෙක් ළගදි දවසක රෑ තවත් සෙට් එකක් එක්ක අඩියක් ගහනකොට මාර නයා පාරක් ඇරලා.ඌ ඇරපු නයා පාරේ මාත් කොණක චරිතයක් වෙලා.සුද්ද සිංහලෙන්ම කිව්වොත් මමත් උන්ගේ පාටියේ මධුවිත අතරේ බයිට් එකක් වෙලා.මෙවා අරුම පුදුම අද ඊයේ වුන සිද්ධී නෙවෙයි.සමහර පිරිමි තමන් මාර පිරිමියා කියලා අනිත් උන් ඉස්සරහා පෙන්නන්න ආසයි.“මචං මං අරකිට ගහලා තියෙනවා“ “මචං ඒකි මගේ පස්සෙන් ආවා“ “මචං ඒකි මට දුන්නා“ “ඒකි මං ගැන පිස්සු හැදිලා“ “මචං ඔන්න බලපන් මං අර අළුත් කෑල්ල සතියක් යන්න කලිං අල්ල ගන්නවා“ “උඹට ඒකි දුන්නද?මට නම් දුන්නා“ ඔන්න ඔහොමයි සමහර පිරිමි පුදුම පුරුෂ ශක්තියෙන් යුතු මහා පිරිමි පොරවල් වෙන්නේ.
සමහර විට ඒ තැන් වලදි  කියවෙන සමහර කෙල්ලෝ කවදාවත් අර පිරිමියා එක්ක වචනයක් වත් කථා කරල නැතුව ඇති.සමහර විට ඒ කෙල්ලෝ අර පිරිමි පොරවල් වලට සිරාවට ලව් ඇති.සිරාටම සිරා කියලා ලව් එකක් දැන් නෑ.ගෑණු සීයක් විතර එක්ක නිදාගත්ත පිරිමියෙක්ව අනික් පිරිමි විසින් නිර්වචනය කරන්නේ මෙහෙමයි.“මචං අරූ මාර පොර.අළුතින් ආව කෑල්ල එක්කත් බුදියගත්තා“ “.ඌ නේද අර පස්ස ලොකු කෑල්ලටත් ගැහුවේ,ඌ නම් සිරාවටම මාර පොර මචං“ “අපි නම් අපේ හොද කමට හැමදාම ගෙදර බත් කන්නේ“
ඒ පොර එක්ක සෙට් වෙලා ඉන්න කෙල්ලව අනිත් පිරිමි නිර්වචනය කරන්නේ මෙහෙමයි.“මචං මාර සීන් එක අළුතින් ආපු කෑල්ල අපේ එකා එක්ක සෙට් වෙලා,හොදට දෙනවලු අරූට.මං උඹට කිව්වනේ ඒකි ආපු දවසෙම ඒක අදින්න පුළුවන් කියලා.අරූට කලින් මට දාගන්න තිබුනා.ඕක මටත් වැඩකරා“
පිරිමියා “පොර “වීමේත්  ගැහැනිය “බඩුව“ වීමේත් මහා තියරිය එයයි.මෙය අද ඊයේ සිද්ධ වුන දෙයක් නොවෙයි.කවදාවත්ම මේවගේ දෙයක් ලියන්න ඕනේ කියලා මගේ හිතට දැනිල තිබුනේ නැති වුනත් මහා පිරිමි එක තැනකට සෙට් වෙලා මනසින් ලිංගික සන්තර්පණයේ යෙදෙන ගෑණු ගැන කථා කරලා ස්වයං වින්දනයේ යෙදනකොට ඒවා ගැන එක වචනයක් හරි ලිව්වේ නැත්තං උන්ගේ පොන්න කම් වලට හැමදාම ආතල් දෙන කෑලි අපි වේවි.සමහර විට එහෙව් පොරක් මේක කියවලා ආයෙමත් පිරිසක් එක්ක සෙට් වෙලා ස්වයං වින්දනයේ යෙදෙනකොට ඌට මෙහොතකට හරි මේක මතක් වෙයි.මහා දෑවැදි එක්ක සීතාවන් බැදගෙන ඉන්න මේ පිරිමින්ට තමන්ගේ ගෑණිව පිරිසක් මැද්දේ බෙදාගෙන ආතල් ගන්න කිව්වොත් මෙනවා වේවිද?තමන්ගේ ගෑණිට හැර අනික් හැම ගැහැණියකටම බඩුවක්,වේසියක්,කෑල්ලක් කියලා නිර්වචන දෙන නපුංසක පුරුෂ පොරවල්වලට අවසානයට කියන්නට දෙයක් ඇත.

උඹ දෑවැද්දක් සමග කරකාර බැදගෙන ඇත්තේ බඩුවකි
උඹව විශ්වාස කර ආදරය කරන්නේ ඒ බඩුවයි
නන්නත්තාරේ ගිහින් එන උඹේ කකුල් හෝදා ගෙට ගන්නේ උඹ කරකාර බැදගත් ඒ කෑල්ලයි
උදේ පාන්දර නැගිට උඹට බත් එක බැද දෙන්නේ ඒ බඩුවයි
රෑට නිදියහනේ දී උඹේ අවලං කං වලට මුනිවත රකින්නේ ඒ වේසියයි

සමාජයේ සියලු ගෑණු “බඩු“ වෙද්දි උඹේ ගැහැණිය සීතා විය නොහැක.මක් නිසාද යත් උඹේ ගැහැනිය උඹට නොව අනික් පිරිමියකුට කෑල්ල වේසිය බඩුව වන හෙයිනි.
-රමේෂා -

4/5/11

උඹ ඉදිරියේ මම



මාව ටිකින් ටික හිස් වෙනකොට උඹ මාව පිරෙව්වා.මගේ ඇස් වලින් කදුළු බේරෙන්න බේරෙන්න උඹ මට හිනාවෙන්න ඉගැන්නුවා.මං වියරු වැටෙනකොට උඹ ඇවිත් කිව්වා වියරුව යනකල් උඹව කපලා කපලා දාන්න කියලා.නිල් පාටයි කොළ පාටයි අදුරගන්න බැරිවෙලා මාව අවුල් වෙනකොට උඹ මාව මුද ළගට ගෙනිහිල්ලා ඇහුවා මුද නිල් පාටද කොළ පාටද කියලා.මට උත්තර දිගන්න බැරි වෙනකොට උඹ කිව්වා ඒකට උත්තර හොයන්න එපා මුදටවත් ඒ ගැන ප්‍රශ්නයක් නෑ කියලා.හිතට රොමැන්ටික් වෙන්න හිතුනම උඹ හිස් පිටුවක් වෙලා මට කිව්වා ඇති වෙනකල් කවි ලියපං කියලා.අද උඹයි උඹයි උඹයි උඹයි උඹයි නැතුව මාව හිස් වෙලා.කදුළු වලින් මාව වැහිලා.වියරුවෙන් ගැහෙනවා.නිල් පාටයි කොළ පාටයි තියා මට මාව අදුරගන්නත් බැරි වෙලා.රොමැන්ටික් මාව අත්හැරල ගිහිං.පෑන තරහවෙලා.ඇත්තටම මම කවුද?ඒ කියන්නේ මා හිස් වුනේ උඹට පුරවන්න.මම ඇඩුවේ උඹට මට හිනාවෙන්න උගන්නන්න.මම වියරු වැටුනේ උඹට මගේ සැනසීම වෙන්න.මම අවුල් වුනේ උඹට මට කියලා දෙන්න.මම රොමැන්ටික් වුනේ උඹේ හිස් පිටු කවියෙන් පුරවන්න.මම ජිවත් වෙලා තිබුනේ උඹේ හිස්තැන් පුරවන්න.අන්තිමේදි බලනකොට මම උඹේ ගැලවුම වෙලා.

-රමේෂා-

4/1/11

තවමත් අපි හෙළුවෙන්


ලංකාවේ ගොඩක් දෙනෙක් මැච් බලන්නේ අපි දිනනව බලන්න.එහෙම  ක්‍රිකට් බලල වැඩක් නෑ.ඒක හරි දූපත්වාසී සිතුවිල්ලක්.එදා ශ්‍රිලංකා නවසිලන්ත මැච් එකේදි ඩිල්ශාන් හය හතර ගහනකොට අත්පුඩි ගහපු නවසීලන්ත කාරයෝ හිටියා.මාලිංගයි මෙන්ඩිසුයි විකට් ගනිද්දිත් ඔවුන් අත්පුඩි ගැහුවා.ඒත් ස්ටයිරිස් හාෆ් සෙන්චරිය දාල මුලු ක්‍රිඩාගාරයට බැට් එක උස්සලා ආචාර කළා. කවුරුත් අත්පුඩි ගැහුවේ නෑ.මේක ආසියානු රටවල පොදු තත්වයක්.මේක හරි ගෝත්‍රික තත්වයක්.අපි වනචාරී යුගයේ ප්‍රතිවාදියා මැරෙන තුරු පහර දෙනවා.නමුත් දැන් එහෙම නෑ.ඒ සිතුවිලි සහ ආකල්ප වලින් මිනිසා දියුණු නිසා.එතකොට ස්ටයිරිස්ට අත්පුඩි නොගහ ශ්‍රීලාංකිකයෝ කේන්තියෙන් ඉන්න අතරේ නවසීලන්ත කාරයෝ ඩිල්ෂාන්ට අත්පුඩි ගහනවා.

මේ ජීවිතේ ඇතුලේ කිසිම ගේමක් සදාකාලික නෑ.මීට වැඩිය ගේම් කාරයෝ අද ලංකාවේ ජනතාව අන්දගෙන ඉන්නේ.ජාතිවාදි,දැඩි ත්‍රස්ත විරෝධී ආන්ඩුවක ඇමති වරයෙක් වෙන්න,ඒ ආන්ඩුවේ ප්‍රබලයෙක් වෙන්න ත්‍රස්ත කල්ලියක සන්නද්ධ ප්‍රධානියෙක් වෙලා හිටපු කෙනෙකුට පුළුවන් නම්,හමුදා සාමාජිකයින්ගේ පවුල්වල අය පවා මරාදාපු කල්ලිවල ප්‍රධාන පෙලේ සාමාජිකයන්ට ඒ අත්වලින්ම රණවිරුවන්ට මානෙල් මල් පළන්දන්න පුළුවන් නම්,එදා මානව හිමිකම් වෙනුවෙන් දාඩිය දාගෙන උගුර ලේ රහ වෙනකල් කෑගහපු නායකයින්ට අද මානව හිමිකම් අමතක වෙලා නම් ඇයි අපි තවත් ඇන්දිලා ඉන්නේ.

එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕන දියුණු මිනිස්සු විදිහට යථාර්තය පිළීගන්න.වාසි වුනත් අවාසි වුනත් ඒකට අවනත වෙන්න.දෝනි මුරලිට හයක් ගහන කොට අත්පුඩි ගහන්න.ටෙන්ඩුල්කාර් ෆිෆ්ටි අප් කරනකොට චියර් කරන්න.ක්‍රිඩාවේ ජය පරාජය සම සිතින් පිලිගන්න පුළුවන් ආකල්ප අතින් දියුණූ මිනිස්සුන්ට විතරයි.ක්‍රිකට් කියන්නේ තරගයක් මේ තරගෙදි එකම එක තත්පරයක් ඇති තරගෙම වෙනස් කරන්න.දිනන්නේ සාපේක්ෂව ඒ වෙලාවේ දස්කම් දකවන කණ්ඩායම විතරයි.අපි තේරුම් ගන්න ඕන ඇත්ත ඒකයි.කවුරු කප් එක ගත්තත් අපිට බලන්න අවශ්‍ය වෙන්නේ හොද තරගයක් විතරයි.


3/29/11

රැඩිකල්


 
 උඹ KFC එකෙන් චිකන් බුරියානි කනකොට
පොකට් එකේ සල්ලිත් තියාගෙන
පෙරේත කමින් මිරිකි මිරිකි
මම කෑවේ
කටට තිත්ත වෙලා තිබුන
ගමේ රහට කොළඹ බත් එකක්
                                                     -රමේෂා -