11/4/14

පශ්චාත් කොස්ලන්ද හෙවත් මිනී විකුණා අරක්කු බීම



කොස්ලන්ද ඛේදවාචකය සිදුවී හමාරය. මේ වන විට වැළලුනු පිරිස කියදැයි කියා හරියට කියා ගන්නට වත්  රජය අපොහොසත් වී සිටියි. තවමත් පස් කදු පීරමින් මිනි සොයාමින් සිටින්නේ මියගිය ගණන මේ යැයි තහවුරු කර පෙන්විමට මෙනි.

තත්වය එසේ තිබියදී  මෙරට සිදුවු සෑම ඛේදවාචයකදීම සිදු කළ ආකාරයට කොස්ලන්දෙන් ජීවත් වන මාධ්‍යකරුවන්  පිරිසක්ද බිහිව සිටියි.වරෙක ඔවුන් ජීවත් වුයේ වාරියපොළ නංගී ගෙන්ය. තවත් වරෙක් රත්නපුරේ බට්ටී ගෙන්ය. මේ වනවිට ඔවුන් සිය බඩකට පුරවා ගනිමින් සිටින්නේ කොස්ලන්දේ මළ සිරුරු වලින්ය.

දශක තුනකට අධික කාලයක් යුද්ධයක් පැවති රටක ජන මනස ප්‍රචණ්ඩත්වය ඉල්ලා සිටින බව හැබෑය. සටන්කාමීන් කොළඹ බෝම්බ පුපුරුවද්දී  ඇතැම් රූපවාහිනී නාලිකා සංස්කරණය නොකළ දර්ශණ පෙන්වමින් මිනී මස් විකිණු හැටි තවම මතකය. අපි ඉතිහාසයේ සිට ම්ලේච්ඡ ජාතියක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. විජය රජු ලංකාවට එනවිට මිනී මස් කමින් සිටි  කුවේණිගේ යක්ෂ පරම්පරාවේ අපි තවමත් අමු මිනී මස් වලට ප්‍රිය ජනකය. ආර් ප්‍රේමදාස ආමර් විදීයේදී කුඩු වී යන විට කිරිබත් උයා කන්නේ එම කුවේණි පරපුරේ අපිමය. එමෙන්ම නන්දිකඩාල් කලපුවේ ලේකැටි සමග ප්‍රභාකරන් වැටී සිටිනු දැක රතිඤ්ඤා දල්වා කැවුම් ඉව්වේද මේ අති උදාර ජාතියම ය. තවදුරටත් වාරියා පොල නංගී බඩුවක් කරන්නේද , රත්නපුර බට්ටී සමග පිරිමි නිදාගන්නට ඇත්තේ කෙසේදැයි සිතමින් ස්වයං වින්දනයේ යෙදෙන්නේ ද මේ ජාතියම ය.

එවන් ජනතාවක ගේ ම්ලේච්ඡත්වය සමනය කරනු වෙනුවට එය තවදුරටත් උත්සන්න කරමින් ඇතැම් මාධ්‍ය කටයුතු කරමින් සිටියි.මෙම තක්කඩි “ එඩිටර් “ ලා කොස්ලන්දේ මියගිය දරුවන් ගොඩගන්නා දර්ශණ මෙන්න කියා හෙඩ්ලයින් දමන්නේ එම මළ මිනී විකුණා හවසට අරක්කු කාලක් බොන්නට මිස මාළිගා තනන්නට නොවේ.

මෙම තක්කඩි මාධ්‍යවේදීන්  “කොස්ලන්දේ මියගිය දරුවන් ගොඩගන්නා දර්ශණ මෙන්න“ කියා නොනැවති තව අතුරු කථාවක් ද එකතු කරයි. එනම් “සංවේදී අය මෙම දර්ශණ නැරඹීමෙන් වළකින්න“ යනුවෙන් සදහන් කරයි. ඔවුන්ට අනුව  සංවේදී නොවන මිනිසුන් මේ වන විට බිහිවී ඇතැයි ඔවුන් සිතමින් සිටියි.එය ඔවුන්ගේ බුද්ධියේ පරිමාව යැයි සිතා  හිත හදාගත හැකිය.අනෙක් අතින් මේ ඔවුන් කියන්නට උත්සහ කරන්නේ තම ප්‍රවෘත්ති කියවිය යුත්තේ සංවේදී නොවන මිනිසුන් බව නොවේද ?මිනිසා ස්වභාවයෙන්ම තිරිසනුන්ගෙන් වෙනස් වෙන්නේ සංවේදී බව නිසා බව මෙම ඔලමොට්ටල “එඩිටර් “ලාට තේරෙන්නේ නැත.

ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට බොම්බ ප්‍රහාර එල්ලවීම සිද්ධිය සිදුවු දිනයේ එරට රූපවාහිනියේ පෙන්වුවාට මේ වන තෙක් කිසිදු රූපවාහිනි නාලිකාවක එය යළි යළිත් පෙන්වා නොමැත.එය ඇමරිකාවේ මාධ්‍ය සදාචාරයයි.නමුත් කිසිදු ජාතියක් ජන්මයක් නැති අපේ රටේ ඇතැම් තක්කඩි “එඩිටර්“ ලා තවදුරටත් කොස්ලන්දේ මිනි විකුණා රේටින්ග්ස් සහ හිට්ස් වැඩිකර ගනිමින් සිය මල්ල පුරවාගෙන අරක්කු බොමින් සිටියි. මෙවන් ඔලමොට්ටල තක්කඩි මාධ්‍ය කරුවන් හෙට දිනයේ “අපේ අම්මා දුෂණයට ලක්වු හැටි මෙන්න (වීඩියෝ සහිතයි)“ කියා හෙඩිමක් දැම්මොත් ඔබ කලබල නොවන්න!



No comments:

Post a Comment