10/11/11

භාරත මැරුවද?මැරුණා ද?


“භාරත මැරුවාද මැරුණද?මේ ප්‍රශ්ණය ඔබට අපභ්‍රංසයක් විය හැකියි.මේච්චර මේ වෙඩි තියලා මැරුවා කියලා කියද්දිත් මේ වගේ ප්‍රශ්ණ අහන එක ගැන.ඔය මරණ ගැන අපේ සමාජයේ ඇත්තේ වෙනම විවේචනයකි.ඩයනා මැරෙනකොට,ගාමිණි අතුකෝරළ හදිසියේ මැරෙනකොට,ජෙයරාජ් මැරෙනකොට,සෝම හාමුදුරුවො මැරෙනකොට,ශ්‍රීපති මැරෙනකොට‍, මැරුණා කියන එක පිළිගන්න බොහෝ දෙනෙක් කැමති වුනේ නෑ.මේ නිසා අපි හිතුවා මැරුවා වෙන්න බැරි නැද්ද කියලා.මේ අකාලයේ මැරෙන්න බෑ කියන සම්මතයත් එක්ක හැදෙන්නේ  සැකයක්.මෙ සැකය එක්ක විවිධ මතවාද පටං ගන්නවා. අවසානයේදී එකෙක් දෙන්නෙක් ගේ දෘෂ්ඨිවාදයකට තැනක් ලැබෙනවා.

හැබැයි එදා වුනේ සැක හිතන්න දෙයක් නෙවෙයි. කියන විදිහට භාරතට දුමින්ද වෙඩි තිබ්බා.එතකොට භාරතගේ අය දුමින්දටත් වෙඩි තිබ්බා.දෙපැත්තම වෙඩි තියාගත්තා.ඔය ද්වන්ධ සටන් වලදී වීරයා සහ ද්‍රෝහියා තීරණය කෙරෙන්නේ කාලය සහ වේගය අනුව.ඉක්මන් වුන එකාට වීරයා හෝ ද්‍රෝහියා වෙන්න පුළුවන්. දැන් මෙතන වීරයා කවුද?ද්‍රෝහියා කවුද?මෙතන මැරුණේ භාරත නිසා සමස්ථයේ පිළිගැනීම ද්‍රෝහියා දුමින්ද බවයි.නමුත් භාරත ජීවත්ව සිටියදී දුමින්ද මියගියා නම් භාරත ගැන කථාකරන ආකාරය ඉදුරාම වෙනස් වන්නට ඉඩ තිබේ.

මේ නිසා වීරත්වය සහ ද්‍රෝහීත්වය ආරෝපණය කිරීම මේ යුගයේ ව්‍යාජයක් බව පැහැදිලිය.එය සැනෙන් වෙනස් විය හැක්කකි.කොතරම් දුර්ගුණ සහිත පුද්ගලයෙකු වුව මියගිය පසු සත්ගුණවත් භාවයට පත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.එය මළවුන්ට කරන ගෞරවයක් ලෙස සැලකෙයි.මේ කියවෙන්නේ භාරත  ගේ ගුණ ව්‍යාජ ලෙස ගායනා කිරීමක් නැත්තම් භාරතට සුදු හුණු ගෑමක් යැයි කෙලින්ම කිව නොහැක.

ක්‍රියාකාරී දේශපාලනයේදී කෙසේ වුවද දුමින්දට සාපේක්ෂව ගත් කල භාරත පළපුරුදු දේශපාලනයට සුදුසු චරිතයකි.70 දශකයේ සිට මෙරට පක්ෂ දේශපාලන ගොහොරුව තුළ රැදී සිටිමින් දේශපාලනය වෙනුවෙන් ඔහු කළ දේ බොහොමයකි.මහින්ද මහ පුටුවට ගෙන ඒම දක්වා දැවැන්ත සෙවනැල්ලක් වුයේ භාරත බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.විජයගේ අනුගාමිකයෙකු වු භාරත තමාට දැඩි සේ හිතවත්ව සිටි චන්ද්‍රිකා සමගද මහින්ද වෙනුවෙන් අරගල කලේය. එහෙව් අරගල වල ප්‍රතිඵලයක් ලෙස මහින්ද මහ පුටුව දක්වා පැමිණියේය.

 
නමුත් එහේ මෙහේ සිටි හාල්පාරුවන් ජාතික ලැයිස්තුවෙන් රිංගද්දී,මොළයට වඩා ඇග වැදගත් යැයි සිතන හැල ගෙම්බන් පිල් පැන අමාත්‍යංශ වල අධීක්ෂණ මන්ත්‍රී කම් ගනිද්දී, භාරත නාමික තනතුරක් පමණක් දැරීය.(භාරත ඉල්ලුවා දුන්නේ නැද්ද?නැත්තං භාරත ඉල්ලුවේ නැද්ද කියා නොදනිමි)කෙසේ නමුත් දැන් භාරත යන දේශපාලන චරිතය අවසන් කොට හමාරය.

කොලොන්නාවේ මිනිස්සු කියන විදිහට“ලකී අයියා මැරූ එකාද ඉවරයක් කළ යුතුය“නමුත් ගැටළුව ඇත්තේ හරියටම මිනී මරුවා සොයාගැනීමට ආණ්ඩුවට හැකිවේද යන්නයි.මියගියේ භාරත නොවේ නම් එම තැනැත්තා දුමින්ද ඉදිරියට පැමිණ දුමින්ද එපා කියද්දිත් තමන්ටම වෙඩි තියාගත්තා වගේ කථාවක් කියන්නට තිබිණ.
කෙසේ නමුත් භාරතලා හදපු ආණ්ඩුවේ තුවක්කු භාරතලාටම පත්තු වී තිබේ.මෙය ආරම්භයක් පමණි.අවසාන වන්නේ කොතැනින්ද?මහ තැන්වල තුවක්කු මහතැන්වලටම එරෙහිව පත්තු වන දිනය වැඩි ඈතක නොවන බවට මෙය ඉගි කිරීමකි.

3 comments:

  1. This is a good analysis of the situation.

    ReplyDelete
  2. මහ තැන්වල තුවක්කු මහතැන්වලටම එරෙහිව පත්තු වන දිනය වැඩි ඈතක නොවන බවට මෙය ඉගි කිරීමකි.

    So true...

    ReplyDelete
  3. පැහැදිලිවම ...

    ReplyDelete