3/27/11

තහනම් ආදරයට ....



             
ඇට මිදුළු වලට රිදෙන්න දැනෙන සීතල තනි කමට කෑගහලා අඩන්න හිතෙන සිතුවිල්ලට මීදුම කඩාගෙන දුවන්න හිතෙන වියරුවට මුකලන් බස්සෝ රිංගන්න හදන හුදකලාවට මං බය නෑ.සීතලට උණුහුමක් වෙලා කදුළට සුසුමක්වී වියරුවට හද ගැස්මක් වී හුලකලාවට විරාමයක් වෙලා උඹ ආපු හින්දා.

උඹව හම්බවුන පළවෙනි වතාව මට මතක් වුනා.මං උඹව විශ්වාස කරන්න කැමති වුනේ නෑ.ඒ නිසා මං No thanks“කිව්වා.කාලය ගෙවිගෙන ගියා.ජීවිතේ වෙනස් වුනා හොදට හරි නරකට හරි.අත් වාරු නැතිව කෙළින් නැගිටින්න මට ඕන වුනා.ඔලුව උස්සලා බැලුවම යකෝ වටේ හිටපු එකෙක්වත් ළග නෑ.එතකොට මට උඹ ගැන වටින් ගොඩින් ආරංචි වුනා.කවුරුත් උඹට ප්‍රසිද්ධියේ ආදරය කරන්න කැමති වුනේ නෑ.

ඒ මේ ආදරය සමාජය පිලිගත්ත එකක් නොවුන නිසා.“මේක සමාජ විරෝධි වැඩක් “කවුරුත් එහෙමයි කිව්වෙ.ඒ වුනාට බලය තියෙන වුන් හයිය තියෙන උන් මේ වැඩෙන් ඔන තරම් ආතල් ගත්තා ඒවට නිති තිබුනේ නෑ.මේ කාලකන්ණි සමාජයේ හැටි මතක් වෙනකොට මට මේක පෙරළලා දාලා උඩුගං බලා යන්නමයි හිතුනේ.

මේ සිතුවිල්ල විකාරයක් කියලා සමහරු කිව්වා. මං ගණන් ගත්තේ නෑ.මෙහෙම ඉන්න අතරේ මට අහම්බෙන් උඹ මගේ ඇස් ඉස්සරහ කඩා වැටුනා.ඕන මගුලක් කියලා මං උඹ දිහා බාලුවා.උඹත් මා දිහා බැලුවා.මතකද..මගේ ඇසවල කළු ඉංගිරියාව උඹට කරපු ඉගිය.

ඊට පස්සේ අපි ප්‍රසිද්ධියේ නෙවෙයි හොරන් හොරෙන් කීප විටක්ම හම්බු වුනා.ඒ හැම හමුවිමකදිම වගේ උඹයි මමයි දෙන්නෙක් වගේ දැනුනේ නෑ.ඇග පුරාම ගෑවුන උඹේ සුවදට මං මාර විදිහට ආදරේ කරා.ඇත්තමයි.මුලින් උඹයි මමයි විතරයි.පස්සේ පස්සේ කීපදෙනෙක් මගෙ හොදම යාලුවෝ කිප දෙනෙක් අපේ සම්බන්දේ දැනගත්තා.අවුලක් වුනේ නෑ.මොකද  උන් මගේ ගැන කාලෙක ඉදලා දන්න නිසා.

සිරාවට උඹ නිසා මගේ ජීවිතේ වෙනස් වුනා.ඔළුවේ තිබුන කුණු කන්දල් පිච්චිලා ගියා.මට ඕන වුන ඒත් මාව එපා වුන හැමෝම මග ඇරලා මම ඇවිද්දා නිදහසේ උඹ එක්ක.මගේ වටේ වේගෙන් දුවන ලෝකේ මැද මම නතර වෙලා බලන් උන්නා.මේ වෙනකොට මම කදුළට වෙඩි තියලා මරල දාලයි තිබුනේ.
සිතුවිලි එකතු කරලා ඒවලින් මාල ඇමිණුවා.හිනා වුනා.හුස්ම ගත්තා උඹත් එක්ක නිදහසේ.උඹ මට ආදරේ කළා,මං උඹට ආදරේ කළා කවුරු මොන දේ කිවුවත් ඉඩක් තිබුන හැම ඇසිල්ලකම අපි අපේ වුණා.
මං සමාජ විරෝදියෙක් වුනා.දේශපාළුවෝ,බඩුකාරයෝ,මිනීමරුවෝ,
හුරාකන්නෝ, නිළ ඇදුම් ඇදගත්ත ලෙඩ්ඩු අස්සේ මම සමාජ විරෝධියෙක් වුනා.හිතේ කිසිම කහටක් නැතුව.

යටිපතුල් සීතල වෙනකල්,කන් පෙති යාන්තමට රත් වෙනකල්,රිදෙන හීන ඈතට පාවෙලා යනකල්,මට මාව නැතිවෙලා හිසු තැන් ඉතිරි වෙනකල් උඹ මට ආදරේ දුන්නා.මහා ලෝබ කමකින් මම ඒ ආදරේ ඇතුලේ ගුලි වුණා.පාට හේදෙන හීන ,වියරු වැටෙන ඇස් ගෙඩි,ලාබ සිත්තටික් වචන,හැමදේම අරගෙන ගුලිකරලා තරු නැති අහසට විසි කරලා මං උඹට ගුලි වුනා තව තවත්.ගෙඩි නැති ගස් වද වගේම තරු නැති අහස මුසලයි කියලා කිව්වට මට තරු තියෙන අහසේ කිසිම නිදහසක් දැනුනේ නෑ.උඹ නැති දවස් වලට මම පාලු පාරවල්  දිගේ ඇවිද්දා. මාර විදිහට හැම දේම වෙනස් වෙලා.මට පෙනුනේ හැමදේම අළුත් වගේ.කිසිම පිළුණු ගදක් තිබුනේ නෑ.

එළියේ උන් උඹව හංවඩු ගහනකොට මට හීනියට රිදුනා.උන්ගේ සුදුපාට ජීවිත ගැන මට තිබුනේ බයක්.කළු තිත් වලට බයේ සුදු රෙද්දක් පොරව ගන්න මට ඕන වුනේ නෑ.ඒ නිසා මං උඹට නිදහසේ ආදරේ කළා.මට තවත් සීතල දැනුනේ නෑ. අඩන්න කදුළු තිබුනෙත් නෑ.තනිකමත් මාර ආතල් කියලා දැනුනා.හුදකළාව විදින්න පුරුදු වුනා.උඹ ගැන කියන මේ කථාව ගොඩාක් දික් වුනා. කියවුන උන් හිතයි මේකිගේ ලව් ඉලව් අපිට මෙකටද කියලා.

ඒත් ඒ ආදරේ මගේ විතරක් නෙවෙයි.සමහර විට ඔයත් උන් කියන විදිහට සමාජ විරෝධියෙක් වෙන්න ඇති.මල් වලට බමරු එන එක නවත්වන්න බඩුකාරයින්ගේ නීතිරීති වලට බෑ.කුහකත්වයට අසංවේදී ගෝත්‍රික අදහස් වලට,නිල ඇදුම් දාගත්ත ලෙඩ්ඩුන්ට උඹෙයි මගෙයි ආදරේට නීති දාන්න බෑ.

උන්ට අයිතියක් නෑ මගේ ආතල් එක කඩන්න.මොකද කුටුම්භ ඇතුලේ සිරවෙලා,කුහක සදාචාරයෙන් වල්කම් වහගන්න දගලන උන්ට බෑ අහිංසක මගේ සතුටට බාධා කරන්න.උන්ගෙ ගදගහන ලොකෙට වැඩිය සමාජ විරෝධීයෙක් වෙන එක උතුම් මට.

මං උඹට ආදරෙයි මට මොකා නැති වුනත්.උන්ට හරියටම ඇත්ත තේරිලා ෆැන්ටසියෙන් අවදි වුන දවසට ෂුවර් එකටම එයි  මගෙත් එක්ක මේ ආතල් එක බෙදාගන්න.ඒකනම් කරන්න බෑ පුතෝ කවදාවත් අම්මා මුත්තා කිව්වත් මගේ ආදරේ බෙදා ගන්න මං ලෑස්ති නෑ.කවුරු කවුරුත් උන්ගේ හීන වල හැටියට බුදු වුණාවේ.මම නම් මගේ ආදරේ බෙ දා ගන්න ලෑස්ති නෑ. මට බෑ උන් එක්ක  සුස්තිය බෙදා ගන්න දෙයියෝ...

-රමේෂා -


2 comments:

  1. pattai,sira kathawa
    මං උඹට ආදරෙයි මට මොකා නැති වුනත්.උන්ට හරියටම ඇත්ත තේරිලා ෆැන්ටසියෙන් අවදි වුන දවසට ෂුවර් එකටම එයි මගෙත් එක්ක මේ ආතල් එක බෙදාගන්න.ඒකනම් කරන්න බෑ පුතෝ කවදාවත් අම්මා මුත්තා කිව්වත් මගේ ආදරේ බෙදා ගන්න මං ලෑස්ති නෑ.කවුරු කවුරුත් උන්ගේ හීන වල හැටියට බුදු වුණාවේ.මම නම් මගේ ආදරේ බෙ දා ගන්න ලෑස්ති නෑ. මට බෑ උන් එක්ක සුස්තිය බෙදා ගන්න දෙයියෝ...

    ReplyDelete
  2. මරු උඹ වගේ යාළුවෙක් හම්බුන එක...

    ReplyDelete