6/13/12

සියුමැළි කළුගල් සහ පාල අන්කල්

“මේ තරම් සියුමැලිද කළුගල්“  යන ගීය මා අසා තිබුනේ නැත.නමුත් පුවත්පතක එම ගීය පිලිබද ලියවුන සටහනක් අහම්බයකින් කියවන්නට ලැබුණී.පසුව  youtube පීරා ගීතය සොයා ඇසුවෙමි.

මේ තරම් සියුමැලිද කලු ගල් හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ළග ඉළුක් හෙවනක මැටි පිලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රල දිහා

ඉසුරුමුණියේ නුඹ තැනූ පෙම්බරිය කොතැනද කියා
මා ඇසු විට හිනැහුනා ඔහු තවම තනිකඩ යැයි කියා

http://www.youtube.com/watch?v=wplfJsgEUyE
 
 “ මොනතරම් මනරම්ද?මෙහි මට වැදගත් වන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ හඩ වත්, ගීතයේ මවන චිත්ත රූපය වත් නොවේ.රජී වසන්ත වෙල්ගම ලියු පද පුරා දිවෙන දේශපාලනයයි.

එය විග්‍රහ කිරීමට මට හදිසියේ හමුවු “පාල අන්කල් “ ගේ කථාව යොදාගනිමි.“පාල අන්කල්“ අද ඩුප්ලිකේෂන් පාරේ ගොඩනැගිල්ලක් මුර කරයි.හදිසියේ ඇද හැළුනු වර්ෂාවක් නිසා මුණගැසුන  “පාල අන්කල්“ ජේවීපී කාරයෙකි. විජේවිර ගේ ගමේ මිනිහෙකි.ඔහු එදා සිට දේශපාලනය කර තිබේ.විජේවීරලා ජේවීපීය පටන් ගන්න විප්ලව කරන්න කථා කරන විට ඔවුන්ට තේ කහට උණු කර දුන්නේ ඔහුය.එතැන් පටං ඔහු කොඩි දැම්මේය පෝස්ටර් ගැසුවේය, 71 දී මෙන්ම 89 දීත් ඔහු විප්ලවයක සිහින දැක්කේය.ඔහු විවාහ වී නැත්තේද මෙම සමාජ ක්‍රමය වෙනස් කරන තුරු පවුල් ජීවිත ගත කරන්නට සුදුසු පසුබිමක් නැති බැවිනි. විප්ලවය උදෙසා මුළු ජීවිතයම කැප කළේය. 
 
“කසාද බැදල දරුවෝ හදල වැඩක් නෑ මහත්තයා උන්ට ජීවත් වෙන්න ලෝකයක් නැත්තං.අපි වගේම පීඩා විදින්ඩ ඇයි තව උන් බිහිකරන්නේ“ 


ඒ පාල අන්කල් හිතන හැටිය. එහෙත් චන්ද්‍රිකා එක්ක ජේවීපිය පූට්ටු වීම පාල අන්කල්ට දිරෙව්වේ නැත. ඔහු ඉවත් විය.ඔහු දැන් තම චයිනීස් ජංගම දුරකථනයේ රේඩියෝවෙන්  විමල් වීරවංශලා,සෝමවංශලා,ටිල්වින්ලා, දේහපාලනය කරන සැටි අසා සිටියි.

 “මුන් ඔක්කොම එකයි මහත්තයා.අවස්ථාවාදියො ,කුහකයෝ,රැවටුනේ අපි“

පාල අන්කල් සේම අවුකන පිලිමය සෑදු විශ්මකර්ම මිනිසාද රැවටී ඇත.රුවන්වැලි සෑය හැදුවේ දුටුගැමුණු නොවේ.ඔහු කරවූයේය.එමෙන්ම සීගිරිය හැදුවේද කාශ්‍යප නොවේ.ඉතින් JVP යද එසේය.කළවුන් පසෙක සිටියදී පෙරහැරේ යන්නේ සුඛ විහරණ ලබන්නේ වෙන උන්ය.යුද්ධය කළවුන්,මියගියවුන් අතපය අහිමිකරගත්තවුන් පසෙක සිටියදී වීරයන් ලෙස නම ලියාගන්නේ වෙනඋන්ය.ඉතිහාස ගත වන්නේද විරාජමාන වන්නේද උන් පමණි.

1 comment:

  1. ඔය සින්දුවේ දේශපාලනයක් තියේ කියල නිකමටවත් හිතුනේ නැති හැටි.

    ReplyDelete