3/29/11

රැඩිකල්


 
 උඹ KFC එකෙන් චිකන් බුරියානි කනකොට
පොකට් එකේ සල්ලිත් තියාගෙන
පෙරේත කමින් මිරිකි මිරිකි
මම කෑවේ
කටට තිත්ත වෙලා තිබුන
ගමේ රහට කොළඹ බත් එකක්
                                                     -රමේෂා -

3/27/11

තහනම් ආදරයට ....



             
ඇට මිදුළු වලට රිදෙන්න දැනෙන සීතල තනි කමට කෑගහලා අඩන්න හිතෙන සිතුවිල්ලට මීදුම කඩාගෙන දුවන්න හිතෙන වියරුවට මුකලන් බස්සෝ රිංගන්න හදන හුදකලාවට මං බය නෑ.සීතලට උණුහුමක් වෙලා කදුළට සුසුමක්වී වියරුවට හද ගැස්මක් වී හුලකලාවට විරාමයක් වෙලා උඹ ආපු හින්දා.

උඹව හම්බවුන පළවෙනි වතාව මට මතක් වුනා.මං උඹව විශ්වාස කරන්න කැමති වුනේ නෑ.ඒ නිසා මං No thanks“කිව්වා.කාලය ගෙවිගෙන ගියා.ජීවිතේ වෙනස් වුනා හොදට හරි නරකට හරි.අත් වාරු නැතිව කෙළින් නැගිටින්න මට ඕන වුනා.ඔලුව උස්සලා බැලුවම යකෝ වටේ හිටපු එකෙක්වත් ළග නෑ.එතකොට මට උඹ ගැන වටින් ගොඩින් ආරංචි වුනා.කවුරුත් උඹට ප්‍රසිද්ධියේ ආදරය කරන්න කැමති වුනේ නෑ.

ඒ මේ ආදරය සමාජය පිලිගත්ත එකක් නොවුන නිසා.“මේක සමාජ විරෝධි වැඩක් “කවුරුත් එහෙමයි කිව්වෙ.ඒ වුනාට බලය තියෙන වුන් හයිය තියෙන උන් මේ වැඩෙන් ඔන තරම් ආතල් ගත්තා ඒවට නිති තිබුනේ නෑ.මේ කාලකන්ණි සමාජයේ හැටි මතක් වෙනකොට මට මේක පෙරළලා දාලා උඩුගං බලා යන්නමයි හිතුනේ.

මේ සිතුවිල්ල විකාරයක් කියලා සමහරු කිව්වා. මං ගණන් ගත්තේ නෑ.මෙහෙම ඉන්න අතරේ මට අහම්බෙන් උඹ මගේ ඇස් ඉස්සරහ කඩා වැටුනා.ඕන මගුලක් කියලා මං උඹ දිහා බාලුවා.උඹත් මා දිහා බැලුවා.මතකද..මගේ ඇසවල කළු ඉංගිරියාව උඹට කරපු ඉගිය.

ඊට පස්සේ අපි ප්‍රසිද්ධියේ නෙවෙයි හොරන් හොරෙන් කීප විටක්ම හම්බු වුනා.ඒ හැම හමුවිමකදිම වගේ උඹයි මමයි දෙන්නෙක් වගේ දැනුනේ නෑ.ඇග පුරාම ගෑවුන උඹේ සුවදට මං මාර විදිහට ආදරේ කරා.ඇත්තමයි.මුලින් උඹයි මමයි විතරයි.පස්සේ පස්සේ කීපදෙනෙක් මගෙ හොදම යාලුවෝ කිප දෙනෙක් අපේ සම්බන්දේ දැනගත්තා.අවුලක් වුනේ නෑ.මොකද  උන් මගේ ගැන කාලෙක ඉදලා දන්න නිසා.

සිරාවට උඹ නිසා මගේ ජීවිතේ වෙනස් වුනා.ඔළුවේ තිබුන කුණු කන්දල් පිච්චිලා ගියා.මට ඕන වුන ඒත් මාව එපා වුන හැමෝම මග ඇරලා මම ඇවිද්දා නිදහසේ උඹ එක්ක.මගේ වටේ වේගෙන් දුවන ලෝකේ මැද මම නතර වෙලා බලන් උන්නා.මේ වෙනකොට මම කදුළට වෙඩි තියලා මරල දාලයි තිබුනේ.
සිතුවිලි එකතු කරලා ඒවලින් මාල ඇමිණුවා.හිනා වුනා.හුස්ම ගත්තා උඹත් එක්ක නිදහසේ.උඹ මට ආදරේ කළා,මං උඹට ආදරේ කළා කවුරු මොන දේ කිවුවත් ඉඩක් තිබුන හැම ඇසිල්ලකම අපි අපේ වුණා.
මං සමාජ විරෝදියෙක් වුනා.දේශපාළුවෝ,බඩුකාරයෝ,මිනීමරුවෝ,
හුරාකන්නෝ, නිළ ඇදුම් ඇදගත්ත ලෙඩ්ඩු අස්සේ මම සමාජ විරෝධියෙක් වුනා.හිතේ කිසිම කහටක් නැතුව.

යටිපතුල් සීතල වෙනකල්,කන් පෙති යාන්තමට රත් වෙනකල්,රිදෙන හීන ඈතට පාවෙලා යනකල්,මට මාව නැතිවෙලා හිසු තැන් ඉතිරි වෙනකල් උඹ මට ආදරේ දුන්නා.මහා ලෝබ කමකින් මම ඒ ආදරේ ඇතුලේ ගුලි වුණා.පාට හේදෙන හීන ,වියරු වැටෙන ඇස් ගෙඩි,ලාබ සිත්තටික් වචන,හැමදේම අරගෙන ගුලිකරලා තරු නැති අහසට විසි කරලා මං උඹට ගුලි වුනා තව තවත්.ගෙඩි නැති ගස් වද වගේම තරු නැති අහස මුසලයි කියලා කිව්වට මට තරු තියෙන අහසේ කිසිම නිදහසක් දැනුනේ නෑ.උඹ නැති දවස් වලට මම පාලු පාරවල්  දිගේ ඇවිද්දා. මාර විදිහට හැම දේම වෙනස් වෙලා.මට පෙනුනේ හැමදේම අළුත් වගේ.කිසිම පිළුණු ගදක් තිබුනේ නෑ.

එළියේ උන් උඹව හංවඩු ගහනකොට මට හීනියට රිදුනා.උන්ගේ සුදුපාට ජීවිත ගැන මට තිබුනේ බයක්.කළු තිත් වලට බයේ සුදු රෙද්දක් පොරව ගන්න මට ඕන වුනේ නෑ.ඒ නිසා මං උඹට නිදහසේ ආදරේ කළා.මට තවත් සීතල දැනුනේ නෑ. අඩන්න කදුළු තිබුනෙත් නෑ.තනිකමත් මාර ආතල් කියලා දැනුනා.හුදකළාව විදින්න පුරුදු වුනා.උඹ ගැන කියන මේ කථාව ගොඩාක් දික් වුනා. කියවුන උන් හිතයි මේකිගේ ලව් ඉලව් අපිට මෙකටද කියලා.

ඒත් ඒ ආදරේ මගේ විතරක් නෙවෙයි.සමහර විට ඔයත් උන් කියන විදිහට සමාජ විරෝධියෙක් වෙන්න ඇති.මල් වලට බමරු එන එක නවත්වන්න බඩුකාරයින්ගේ නීතිරීති වලට බෑ.කුහකත්වයට අසංවේදී ගෝත්‍රික අදහස් වලට,නිල ඇදුම් දාගත්ත ලෙඩ්ඩුන්ට උඹෙයි මගෙයි ආදරේට නීති දාන්න බෑ.

උන්ට අයිතියක් නෑ මගේ ආතල් එක කඩන්න.මොකද කුටුම්භ ඇතුලේ සිරවෙලා,කුහක සදාචාරයෙන් වල්කම් වහගන්න දගලන උන්ට බෑ අහිංසක මගේ සතුටට බාධා කරන්න.උන්ගෙ ගදගහන ලොකෙට වැඩිය සමාජ විරෝධීයෙක් වෙන එක උතුම් මට.

මං උඹට ආදරෙයි මට මොකා නැති වුනත්.උන්ට හරියටම ඇත්ත තේරිලා ෆැන්ටසියෙන් අවදි වුන දවසට ෂුවර් එකටම එයි  මගෙත් එක්ක මේ ආතල් එක බෙදාගන්න.ඒකනම් කරන්න බෑ පුතෝ කවදාවත් අම්මා මුත්තා කිව්වත් මගේ ආදරේ බෙදා ගන්න මං ලෑස්ති නෑ.කවුරු කවුරුත් උන්ගේ හීන වල හැටියට බුදු වුණාවේ.මම නම් මගේ ආදරේ බෙ දා ගන්න ලෑස්ති නෑ. මට බෑ උන් එක්ක  සුස්තිය බෙදා ගන්න දෙයියෝ...

-රමේෂා -


3/25/11

මගේ LOVE එක



අතීත කථාවෙදි හාවා ඉබ්බට හැමදාම පැරදුනා.නැත්තං ඉබ්බා හාවව හැමදාම රැවැට්ටුවා.ඒත් එතන තිබුන ඇත්ත සීන් එක කවුරුත් දන්නේ නෑ.හාවා ඉබ්බට සෑහෙන්න ලව් කලා.හාවට ඕන වුනේ ඉබ්බා දිනනව දකින්න.හාව කළේ ඉබ්බට නොදැනෙන්න බොරු නින්දක් මවාගෙන ගහක කදකට සෙට් වෙලා ඇහැ පියා ගන්න එක.ඉබ්බා හිමින් හිමින් හාවා පහු කරගෙන යනකොට හාවා මිමිණුවා“මම උඹට සෑහෙන්න ආදරෙයි“ඉබ්බට වැදගත් වුනේ දිනුම් කණුව විතරයි.එයා හිතුවේ හාවා මහ මෝඩයෙක් කියලා.හාවගේ ආදරේ තේරුම් ගන්න බැරි තරමට ඉබ්බට තරගේ සීරියස්.ඉතින් ඉබ්බා දිනුවා.හාවා පැරදුනා.පුංචි කථාවක් වුනාට ඒක මට මාරයි.ඒ මමත් හැමදාම හාවා වෙලා උඹ ඉබ්බා වුන නිසා.



-රමේෂා



3/21/11

පබා කුවේණි සහ පට්ට කෑලි



Ladies First… අපි කාටත් නිතර මේ වචනය ඇහුනද  ඊයේ පෙරේදා  කාන්තා දිනයදා  සම තැන සහ නිසිතැන ඉල්ලා කාන්තාවන් අව් කණ්නාඩි පැළද නිදහස් චතුරස්‍රය ලග උද්ඝෝෂණය කරනු දුටුවෙමි.ඒ අතර සමහර කාන්තාවන් ගේ සැමියන් සිය බිරිය උද්ඝෝෂණය අවසන් කර පැමිණෙන තුරු මෝටර් රථ ගාල්කරගෙන සිටින සිටින ආකාරයත් දැකිය හැකි විය.මේ අතර පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලි වහා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතු බව පාර්ලිමේන්තුවේදී කියා සිටියි.මෙහි පුදුමය මෙයයි පබාට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතු බව සිහිවන්නේද අර උද්ඝෝෂණය කළ කාන්තාවන්ට කාන්තා දිනය සිහිවු ආකාරයටම වීමයි.
කිසි දිනක පරමාදර්ශි කාන්තා චරිතයක් බිහි නොවු ශ්‍රීලංකාවේ කාන්තාව අද කොයිබටද? වත්මනෙහි ශ්‍රීලංකාව සතු ප්‍රබලතම ගැටළු අතරින් එකක් වන්නේ එයයි. පුරුෂ මුලිකව නිර්මාණය වු ලෝක ඉතිහාසය තුළ ආගමික ඉගැන්වීම් තුල සැමවිටම කාන්තාව සලකා ඇත්තේ දෙවෙනි කොට බව පැහැදිලිය.බයිබලයට අනුව මුලින්ම දෙවියන් වහන්සේ ආදම් නිරමාණය කරන අතර ඔහුගේ වම් ඉල ඇටයෙන් ඒවා මැවු බව කියවේ. මුලින්ම තහනම් ගහේ ගෙඩි කෑමට ආදම් පොළඹවන්නේ කාන්තාව බව කියවෙයි.ග්‍රීක ඉතිහාසයට අනුව ජුපිටර් දෙවියා ප්‍රොමිතියුස් සහ එමතියුස් ලවා මිනිසා නිර්මාණය කරන අතර මිනිසාගෙන් පළි ගැනිමට පැන්ඩොරා නම් කාන්තාව නිර්මාණය කර අයහපත පිරුණු මංජුසාවක් ඇය අතට දෙයි.මෙම මංජුසාව පිලිබදව පැන්ඩොරාට කුතුහලයක් ඇතිවී දේව අණ නොතකා ඇය එම මංජුසාව විවිර කර බැලු නිසා අයහපත සහ නපුර ලොව බිහිවෙයි.මෙම සියලු මතවාද ගත් කළ ලොව නිරමාණය කළ බව කියන දෙවියන් පවා පුරුෂෝත්තමවාදි ලෙස කටයුතු කර ඇති බව සක් සුදක් සේ පැහැදිලිය.
නමුත් 19 වන සියවසේ මුල භාගය වන විට කාන්තාව සිය ලිබරල් අයිතින් උදෙසා පෙළ ගැසිම අරඹයි.මුලික වශයෙන් ඇමරිකාව කේන්ද්‍ර කරගෙන මෙම කාන්තා නැගී සිටීම් ඇරඹෙන අතර පසුව එය ලෝකය පුරා පැතිර යයි.ශ්‍රේෂ්ට රුසියානු විප්ලවයේ කාන්තාව  සටන් කාමී කාන්තාවක් බවට පත් වන්න් ඒ නිසාය.නමුත් දේව පුරානයේ පටන් පැවති පුරුෂොත්තම වාදි සංකල්ප වලට යටින් මේ සියලු හඩ නැගිම් අදටත් සිදුවන බව නම් බරපතල කරුණකි.
අපි ආසියානු කාන්තාව දෙස බලමු.ආසියානු කාන්තාවක් කිසියම් ක්ෂෙත්‍රයක කිර්තියට පත්වන්නේ නම් ඊට හේතුව වුනේ පුරුෂයෙකි.මෙය පුරුෂොත්තම වාදි ප්‍රකාශයක් නොව සැබැ යථාර්ථයයි.බෞද්ධ ඉතිහාසය තුල යසෝදරාට සිදුහත් කුමරු තොරාගැනීමට සිදුවන්නේ සිය කැමැත්ත මත නොවේ.මනමේ කුමරියට සිය පියා වන දිසාපාමොක් ගේ හොදම සිසුවා සරණපාවා ගැනීමට සිදුවෙයි.කුවේණිය රවටා රාජ්‍ය බලය උදුරාගන්නා විජය පසුව මධුරාපුරයෙන් කාන්තාවක් ගෙන්වා ගෙන කුවේණිය පලවා හරියි.
ආසියානු තත්වය ගත් කළ සෝනියා ගාන්ධි අද මතුවන්නේ රජිව් ගාන්ධි තුලිනි.අවුන් සාන් සුකි බිහිවන්නේ ඇගේ පියා ජනරාල් අවුන් සාන් විම හේතුවෙනි. බෙනාසිර් භුතෝ අලි භුතොගේ දියණිය වන අතර බංග්ලාදේශයේ කලිඩා ෂියා සිය සැමියාගෙන් පසු දේශපාලනයට පිවිසෙන්නීය.ශ්‍රිලංකාවේ සිරිමාවෝ බණ්ඩාරණායක බිහිවන්නේ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ගේ ඝාතනය විම නිසාය.ඉන් පසුවද චන්ද්‍රිකා,පවිත්‍රා,සුමේධා,නිරූපමා සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ වැනිකාන්තා දේශපාලන චරිත බිහිවන්නේ පුරුෂ කේන්ද්‍රියව වීම මෙහි විශේෂත්වයයි.

මේ නිසා වත්මන් ලාකේය කාන්තාවට පරමාදර්ශි චරිතයක් නොමැත.මෙය හොදින්ම දන්නා මාධ්‍ය කරුවෝ කාන්තාවට පරමාදර්ශි විර චරිත ලෙස තුල්සි ,ප්‍රවිණා වැනි චරිත හදුන්වා දෙන අතර එමචරිත අති සාර්ථක ලෙස සමාජගත වෙයි.
එම ෂානරයේ කාන්තාව තව දුරටත් පුරුෂොත්තම වාදී සංකල්ප ප්‍රවර්ධනය කරමින් සිටිති.තමා තම සැමියාගෙන් පහර කෑමට වඩා පබාට සැමියා පහර දීම මාර සීන් එකක් වන්නේ මේ හේතුවෙනි.පට්ට කෑල්ලක් නොවුනොත් අද පවතින්නට බැරි යැයි සිතන කාන්තාව තව දුරටත් පුරුෂයා මත පදනම්ව ජීවත් නොවන බව කියන්නට හැක්කේ කාටද?
කාන්තාවට ස්වාධීන පසුබිමක් ගොඩනගා ගැනීමට නොහැකිව ඇත්තේ සංස්කෘතික බාධකය නිසා බව අද කවුරුත් එළි පිට පිලිනොගනිති.පුරුෂෝත්තම වාදී සංකල්ප වල නිර්මාණයක් වන ලාංකේය මව සිය දියණිය තුලට රිංගා ඇයගේ අනන්‍යතාවට හානි කිරිමට පටන් ගන්නේ වැඩිවියට පැමිනුන දිනයේ සිටයි.එතැන් පටන් මව තුලින් සිතන්නට පතන්නට දියණියන්ට සිදුවීම අභාග්‍යයකි.මේ නිසා ස්වාධින කාන්තාවකට බිහිවිමට අවශ්‍ය අවකාශයක් මෙම සංස්කෘතික යැයි කියාගන්නා ඊනියා පසුබිම තුළ නැත.සම තැන නිසි තැන සමාජයෙන් ඉල්ලා සිටීමට පෙර ස්වකීය ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට කාන්තාවට හැකි වේ නම් ලාංකේය කාන්තාව මිට වඩා සාධනීය තත්වයකට පත්වනු නොඅනුමානය.