8/6/10

අසල්වැසියාට පේ‍්‍රම කිරීම වෙනුවට අනුකම්පා කිරීම

සාමිනාදන් විමල්
(කවියෙකු, භාෂා පරිවර්තකයෙකු සහ නිදහස් මාධ්‍යවේදියෙකු සහ  යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි)

යුද්ධයෙන් පීඩිත උතුරුකරයේ දෙමළ ජනතාව වෙත සානුකම්පිත දෘෂ්ඨියකින් බැලීම යුගයේ අවශ්‍යතාව යැයි පවසන බොහෝ දෙනෙකු මානව හිතවාදින් ලෙස ඇඟයීමට ලක්වෙති. දෙමළ ජනතාවගේ ”දුක්ගැනවිළිවලට” විසඳුම් ලබා දිය යුතුයැයි කියන්නන්ද මේ ගණයටම වැටෙති. ඇත්තෙන්ම මෙය බරපතල මංමුලාවක ප‍්‍රතිඵලයකි. අනුකම්පාව ඇගයිය යුතු දෙයක් බව සත්‍යයකි. නමුත් එය කිසිසේත්ම උදුරාගෙන ඇති අයිතීන් වලට ආදේශකයක් නොවෙයි.
අනුකම්පාව කි‍්‍රයාත්මක වන්නේ එයට ලක්වන්නා දුර්වල තත්ත්වයක
සිටින සහ තමන්ට වඩා අනුකම්පාවට ලක්වන්නා පහළ මට්ටමකසිටිනතාක් පමණි. මානසික වශයෙන් ගත්කළ යමෙක් කෙරෙහි අනුකම්පාවක් උපදවා ගැනීමද ඒ අනුව අදාළ පුද්ගලයාට යම් උපකාරයක් කිරීමද එතරම් අසීරු කටයුත්තක් නොවෙයි. නමුත් අනෙකාද තමා මෙන්ම සමාන තැනැත්තෙක් ලෙසත් තමන්ට හිමි අයිතීන් ඔහුට හෝ ඇයටත් ඒ අයුරින්ම හිමි විය යුතුය යනුවෙන් පිළිගැනීම ශිෂ්ටාචාරයකට ලක්නොවූ සමාජයක ඉතාමත් අසීරු කරුණක් බව අත්දකින සත්‍යයයි. එවන් තත්ත්වයක් තුළ අනෙකාගේ අයිතීන් වෙනුවෙන් අරගල කිරීම යනු ඉතාමත් සීමිත පිරිසකට පමණක් ප‍්‍රහේළිකාවක් නොවන්නකි. උතුරුකරයට පැමිණෙන අති බහුතරයකින් සුළුතරයක් වූ පෑරුණු හෘදය සාක්‍ෂියක් සහිත පිරිස් සමඟ දොඩමළුවීමෙන් දැන ගන්නට ලැබුණු ආකල්ප මෙවන් අටුවාවක අවශ්‍යතාව ඇති කිරීමට සමත්විය.
දකුණින් පැමිණෙන සිංහල ජනතාව වෙනුවෙන්වූ ප‍්‍රදර්ශනාත්මක වස්තුවක් බවට තමන් පත්වි ඇත යන සිතුවිල්ල බොහෝ දෙමළ ජනතාව තුළ ජනිත කිරීමට සමත්ව ඇත. දෙන දෙයක් ලබා ගන්නවා මිස අයිතියක් ලෙස කිසිවක් ඉල්ලා නොසිටිය යුතුය යන්නද ගොවිතැනින් ලැබෙන අස්වැන්නෙන් කැඩී බිදී ගිය ගේදොර හදා ගතයුතුය යන්නද අවධාරණය කෙරෙන තත්ත්වයක් තුළ එය ආශ්චර්යයට පත් විය යුතු කරුණක්ද නොවෙයි. වන්නියේ වසන යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව ගැන අනුකම්පා කරන්නන් එම ජනතාවට ද්‍රව්‍යමය වශයෙන් යම් ආධාරයක් කිරීම යන මට්ටමට මානවවාදී වුවද යාපනයෙහි දක්නට ලැබෙන සාපේක්‍ෂකව සංවර්ධනාත්මක තත්ත්වය සැළකිල්ලට ගෙන ‘දෙමළ අයට ඇති ප‍්‍රශ්නය කුමක්ද?’ යන ප‍්‍රශ්නය වෙනත් වචනවලින් අසති. යම් යම් ව්‍යතිරේඛයන් පැවැතියද ජාතිවාදය හමුවේ ධනවත් පොහොසත් භේදය එතරම් වැදගත් නොවන බව දෙමළ ජනතාව ඉගෙන ගත්තේ 1983 කළු ජූලියේදී පමණක් නොවෙයි. ඊට පෙර මෙන්ම පසුවද එය යථාර්ථයක් විය.
අනෙක් අතට දෙමළ ජනතාවගේ ජාතික පීඩනය හුදෙක් බෙදුම්වාදී කුමන්ත‍්‍රණයක් ලෙසට වරදවා තේරුම් කරදුන් වාමාංශික ලෙස හඳුන්වාගත් දේශපාලන ධාරාවන්ද අනුකම්පාව නම් සීමාවෙන් එහාට යෑමට සමත්වූවේ නැත. සමාජවාදී පාලනයත් සඳහා වූ ගමනේදී ජය ගතයුතු අභියෝගයක් ලෙස සලකා දෙමළ ජනතාවගේ ජාතික පීඩනයට විසඳුමක් සොයාගන්නවා වෙනුවට එය විදෙස් කුමන්ත‍්‍රණයක් ලෙස සලකා ප‍්‍රතිචාර දැක්වූ දකුණේ ග‍්‍රාමීය තරුණ දේශපාලනයද අවසානයේ දෙමළ ජන සංහාරයකට අපුලකින් තොරව දායකත්වය දැක්විම තේරුම් ගතයුත්තේ අනුකම්පාව මිස අයිතිය පිළිගැනීමට සමත් සාරවත් දේශපාලන සංස්කෘතියක් නොමැතිකමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.
ගෝලීයකරණ ක‍්‍රියාවලිය හේතුවෙන් ජාතික පීඩනය නැතිවී යනු ඇතැයි සිහින දකින්නන්ද සිටිති. ගොඩගැසෙන භාණ්ඩ සහ සේවා විසින් ස්වාර්ථකාමියෙකු බිහි කෙරෙනු ඇතැයිද ඔහු තමා වෙනුවෙන් මිස අනෙකා වෙනුවෙන් සටන් නොකරයි යැයිද යන දෘඪ විශ්වාසය මේ අය තුළ පවති. දෙමළ ජනතාවගේ ජාතික පීඩනය යුද්ධයක් දක්වා වර්ධනය වූ බව පිළිගැනීමට අකමැති මෙකී කොටස් නැවැත එවන් තත්ත්වයක් ඇති නොවීමට නම් කල යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළට දෙමළ ජනතාව අවශෝෂණය කර ගැනීමයි යන සිතුවිල්ලෙන් යුක්තව කටයුතු කරති.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් යන්න කර්ණ කටුක වචන බවට පත්ව ඇත්නම් සුළුතරයේ අයිතිවාසිකම් යන වචන හෝ භාවිතා කිරීමට දෙමළ දේශපාලනය ප‍්‍රඥාගෝචර විය යුතුය.
ජාතික පීඩනය භාණ්ඩ සහ සේවාවන්ගේ සැඩ ප‍්‍රහාරයකින් අතුගා දැමිය හැකි යැයි සිතන්නේ නම් එය භයානක රෝගයක බාහිර සලකුණකි.